ඡන්දය පැවැත්වීම වැලැක්වීමේ අර්ථයෙන් ඉදිරිපත් වන පෙත්සම්වලට මැදිහත් පෙත්සම්කරුවන් ලෙස අපි ඉදිරිපත්වෙනවා – ජාතික ජන බලවේගයේ නීතීඥයෝ

ඡන්දය පැවැත්වීම වැලැක්වීමේ අර්ථයෙන් ඉදිරිපත් වන පෙත්සම්වලට මැදිහත් පෙත්සම්කරුවන් ලෙස අපි ඉදිරිපත්වෙනවා – ජාතික ජන බලවේගයේ නීතීඥයෝ

ඡන්දය පැවැත්වීම වැලැක්වීමේ අර්ථයෙන් ඉදිරිපත් වන පෙත්සම්වලට මැදිහත් පෙත්සම්කරුවන් වශයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඉදිරිපත් වී ජනතාව වෙනුවෙන් ඡන්දය ලබාගැනීමට ක්‍රියා කරන බව එම නීතීඥ සංවිධානය බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

එහිදී එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ නීතීඥවරු පල කළ අදහස් පහතින් පල වේ.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඡන්දය දිනා ගැනීම සඳහා කළහැකි උපරිම මැදිහත්වීම කරන බව යලි අවධාරණය කරනවා.

නීතිඥ සුනිල් වටගල

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් අපට වාර්තා වී තිබෙනවා. නමුත් මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්තකිරීම දක්වා සැලකිය යුතු කාලපරිච්ඡේදයක් තුළ මේ මැතිවරණය සම්බන්ධයෙන් විශාල කුකුසක් නිර්මාණය කර තිබුණා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි මැතිවරණය දිනා ගැනීමට විශාල කාර්යභාරයක් මත දැක්වීමෙන් ඉදිරිපත් කළා. නමුත් විශ්‍රාමික කර්නල්වරයෙක් බව කියා ගන්නා පුද්ගලයෙක් රීට්/01/23 යටතේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සංවිධාත්මක කල්ලි කිහිපයකුත් ඒ අනුව යමින් සිටිනවා. ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතියක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චිත නඩු කිහිපයකින් ඒ අයිතිය තහවුරු කර දී තිබෙනවා. ඡන්දය පැවැත්වීම වැලැක්වීමේ අර්ථයෙන් ඉදිරිපත් වන පෙත්සම්වලට මැදිහත් පෙත්සම්කරුවන් වශයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඉදිරිපත් වී ජනතාව වෙනුවෙන් ඡන්දය ලබාගැනීමට ක්‍රියා කරනවා.

මෙවැනි පෙත්සම් ඉදිරිපත් වුණු පළවැනි අවස්ථාව මෙය නොවෙයි. 1999දී කරුණාතිලක, දයානන්ද දිසානායකට එරෙහි නඩුව වගේම මැදිවක ඇතුලු පිරිස දයානන්ද දිසානායකට එරෙහි නඩුව යන අවස්ථා දෙකේදී හරයාත්මක ගත්විට මැතිවරණය කල්දැමීම වැලැක්වීම තීන්දු ලබාදී තිබෙනවා. හදිසි නීතිය තුළ ඡන්ද කල්දැමිය හැකි යන මතයක් මේ වනවිට සමාජයේ පතුරවා තිබුණත් මේ නඩු දෙක තුළින් එවැනි අවස්ථාවලදී පවා ඡන්ද අයිතිය යටකළ නොහැකි බව විග්‍රහ කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 මූලික වගන්තියට බද්ධ කර මේ සියලු කාරණා විග්‍රහකර තිබෙනවා. මේ වගන්තියෙන් කියවෙන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන සහ දැන ගැනීමට තිබෙන අයිතිය ඡන්ද අයිතියක් සමග බද්ධ කර තිබෙනවා. මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව මෙයින් තහවුරු කර තිබෙනවා. දැන් තිබෙන්නේ ජනමක් නැති පළාත් පාලන ආයතන. ඒ වෙනුවෙන් ජනවරමක් ලබාගැනීම ජනතාවගේ මූලික අයිතියක්. පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේ මාර්තු 20 වනවිට වර්ෂයකින් දීර්ඝ කර තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාපිත මැතිවරණය වෙනුවෙන් සල්ලි වෙන්කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ගැන නොදන්නා කර්නල්වරයා පදනම් විරහිත ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පදනම් විරහිත ඉල්ලීම්වලට වගේම විනිශ්චිත කාරණයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොදෙන බව අපට විශ්වාසයි. විකාරරූපී කල්ලි ඉදිරිපත් කරන ප්‍රචාරවලට මුලා නොවන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඡන්දය දිනා ගැනීම සඳහා කළහැකි උපරිම මැදිහත්වීම කරන බව යලි අවධාරණය කරනවා. මේ මැතිවරණය පුංචි ඡන්දය හැටියට හැඳින්වූවද ජනතාවගේ මතය ජාතික වැදගත්කමක් වෙනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාවක් බවත් අපි අවධාරණය කරනවා.”

ගමේ මැම්බර් මහත්තයා තෝරන මැතිවරණයකට එහා ගිය 2018 මැතිවරණය වගේම මේ පළාත් පාලන මැතිවරණය වැදගත්…

නීතිඥ උපුල් කුමරප්පෙරුම

“ඡන්දයක් පැවැත්වීම තුළින් පවතින ආණ්ඩුව ගැන ජනතාවගේ තිබෙන තක්සේරුව ඒ ආණ්ඩුවටත් රටේ ජනතාවටත් දැන ගැනීමේ අයිඅතියක් තිබෙන බව පිළිගැනීමයි වටගල සහෝදරයා පෙර කී නඩු දෙකේ හරයාත්මක අදහස. මේ පවත්වන්න යන්නේ පුංචි ඡන්දයක්, පුංචි ඡන්දයකින් කළ හැකි දෙයක් නැහැ, වගේ අදහස් තිබෙනවා. නමුත් මේ විදියේ සරල කිරීමක් කරන්න බැහැ. 2018 වනවිට යහපාලන ආණ්ඩුව සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධපතිවරයා අතර වූ විරසකය සම්බන්ධයෙන් ජන ප්‍රසාදය උරගා බැලීමේ අවස්ථාවක් පුංචි ඡන්දයෙන් උදා වුණා. ඒක ගමේ මැම්බර් මහත්තයා තෝරන ඡන්දයකින් එහා ගිය ජාතික ඡන්දයක් බවට පත්වුණා. මේ පළාත් පාලන මැතිවරණයත් අන්න ඒ වගේ ජාතික මැතිරවරණයක් බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිකම දරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන්. ඒවගේම පොහොටට්ටුවට ඡන්දය දුන් 69 ලක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉතාමත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. කණ්ඩායම් දෙකක් ඉවත්වී ගොස් සිටිනවා. මේ නිසා 69 ලක්‍ෂයේ ජන වරම අහෝසි වී ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දුන් ජනවරමත් අහෝසි වී තිබෙනවා. නමුත් ජනාධිපතිවී සිටින්නේ ජාතික ලයිස්තුවෙන් තේරුණු එකම මන්ත්‍රීවරයායි. ඒ පත්වීමෙන්ම කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ සංයුතිය කියන සියල්ල ජනතාවගේ ඡන්දයේ අර්ථය විකෘති කිරීමක් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවට තව දුරටත් ඉදිරියට යන්න පුලුවන්ද කියලා තීරණය කරන ප්‍රධානම නිර්ණායකය පැවැත්වීමට නියමිත මේ පළාත් පාලන මැතිවරණයයි.”

අධිකරණ නිරීක්‍ෂයටත් ඉඩ නොදෙන කඳවුරු හදන්නේ ව්‍යවස්ථාවෙන් දී තිබෙන අයිතීන් අහෝසි කරන්න…

නීතිඥ හර්ෂණ නානායක්කාර

“පසුගිය ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ පසුව 20වැනි සංශෝධනයෙන් අධික බලතල එකතු කරගත් පුද්ගලයාට මහජන මතය විරුද්ධ වීමෙන් තනතුර අත්හැර යන්න සිද්ධ වුණා. කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැතිව මහජන මතය ප්‍රකාශයට පත්වී ඒ මතය නීතියකටත් වඩා, ව්‍යවස්ථාවේ වගන්තිවලටත් වඩා බලගතු වූ හොඳ උදාහරණයක් ඒක. ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන නිදහස යම් යම් ආණ්ඩු විසින් හිතාමතාම හිර කරන්න උත්සාහ කරනවා. ඒ වගේ පියවරක් අනුගමනය කරමින් 05වැනිදා පුනරුත්ථාපන අධිකාරී පනත ගෙන ඒමට සූදානම් වෙනවා. මේ පනතේ ගැටලු රාශියක් තිබෙනවා. නිර්වචන සම්බන්ධයෙන් බරපතළ ගැටලු තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, පෙර සටන්කාමීන්, වෙනත් අරගලකරුවන් යනාදී වශයෙන් වචන රාශියක් ඉදිරිපත්කර පුනරුත්ථාපනයට සුදුසු අය බව නම්කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිර්වචන මේ පනතේ නැහැ. සටන්කරුවන්, අරගලකරුවන් කවුද යන්න නිර්වචන නැතිව ඉදිරිපත් කර තිබෙන්නේ ගෝල්ෆේස් පිට්ටනියට ඇවිත් අදහස් ප්‍රකාශ කිරීමත් අන්තවාදීන් හෝ රටට හානිකරවූවන් හැටියට නම් කිරීමේ ඉඩ තියාගන්න. රාජ්‍ය රහස් පනත, පොලිස් ආඥා පනත පාවිච්චි කර උද්ඝෝෂණ සහ පා ගමන් නවත්වන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව උත්සාහ කළා. මහජන බලයක් නැති ජනාධිපතිවරයෙක් සහ මහජන බලයක් නැති පාර්ලිමේන්තුවක් හැකි තරම් උත්සාහ කරන්නේ ඡන්දයක් නොතියා බලය රැකගන්න.

මේ පනත ගේන්නෙත් ඒ වැනි අදහසකින්. මේ පනතින් නම්කර තිබෙන අය අධිකරණයේ කිසිදු නිරීක්‍ෂණයකට ඉඩ නොදී කඳවුර තුළ ගාල් කරන්න කාල සීමාවක් නොමැතිව ඉඩ හදාගන්නවා. තමන්ගේ ඕනෑම දේශපාලන ප්‍රතිවාදියෙක් අධිකරණයකට ඉදිරිපත් නොකර පුනරුත්ථාපනය කළහැකි තත්වයක් මේ පනතේ තිබෙනවා. පුනරුත්ථාපන කඳවුරුවල රාජකාරී කිරීමට ත්‍රිවිධ හමුදාව යෙදවිය හැකියි. ඒ හමුදාවලට පැවරෙන රාජකාරී මොවාද කියලා ඇමතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනවා. තවත් භයානක තත්වයක් වෙන්නේ පුනරුත්ථාපනය කරන අය පාලනය කරන්න අවම බලය යෙදවීමයි. තවත් පැත්තකින් ඒ හමුදා නිලධාරීන්ට වෙනත් අසීමිත බලයකුත් ලබාදී රැඳවියන්ට පහර දීමට හෝ තුවාල කිරීමටත් අවස්ථාව හිමි වෙනවා. අධිකරණයට නිරීක්‍ෂණය කරන්නත් බැරි, මෙවැනි කඳවුරු හදන්නේම ප්‍රතිවාදීන් හිරකර තබා භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරන්නම තමයි. තව පැත්තකින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික වියවුලකට ලක්වූවන් අයත් වෙන්නේ මානසික සෞඛ්‍ය ගැටළුවකට. එවැනි සෞඛ්‍ය ගැටලු ඇති අය සම්බන්ධයෙන් හමුදාවන් යොදවන්නේ ලෝකයේ කොහේද? ඔවුන්ට අවශ්‍ය වන්නේත් ඖෂධ මිස පාලනය කිරීම හෝ පහර දීම නොවෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය බවට එකඟ වෙන ගමන්ම මේ පනත ගෙනත් විශාල මර්දනයක් ගෙන ඒමට ආණ්ඩුව යොද උත්සාහය හෙළා දකිනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් මේ වගේමයි. වසන්ත මුදලිගේ රඳවාගෙන ඉන්නෙත් මේ පනත යටතේ. මේ පනත සම්මත වුණොත් වසන්ත මුදලිගේ මේ යටතේ පුනරුත්ථාපනයට යවනන්ත් පුළුවන්. ජන වරමක් නැති පාර්ලමේන්තුවක් සම්මත කර ගන්න උත්සාහ කරන මේ පනත් පරාජය කළ යුතුයි.”

ඡන්දය වැලැක්වීමට පෙත්සම් ඉදිරපත් කළ අය බැඳුම්කර වංචාවට උසාවි නොගියේ ඇයි?

නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි

“මම මුලින්ම පෙත්සම් ඉදිරිපත් කළ මහත්මයාට පෙන්වා දෙන්න කැමතියි, 2023 අයවැයෙන් ඡන්දය සඳහා බිලියන 10ක් වෙන්කර අවසන් බව. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ මැතිවරණ කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමටත් කැමැත්ත පළකර තිබෙනවා. එසේ තිබියදීත් ඡන්දය වැලැක්වීමට ඒ මහත්මයා ඉදිරිපත් වීමේ උත්සාහය මම අගය කරනවා. ඒ අතරම දැනට පෙත්සම ඉදිරිපත් කර තිබෙන මහත්මයාටත් ඉදිරියේදී ඉදිර්පත් කරන්න සූදානමින් ඉන්න අයටත් මගහැරුණු අවස්ථා කිහිපයක් මතක් කර දෙන්න මම කැමතියි. පාඩු ලබන එයා ලංකා සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මාසයේ බෝනස් ගෙවා තිබුණා. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් උල්ලංඝණය කර සිදුකළ මේ කටයුත්ත ගැනත් ඉදිරිපත් වනවා නම් කැමතියි. ඒ වගේම කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ ආහර ද්‍රව්‍ය හිඟකම, පී.සී.ආර්, පරීක්‍ෂණ කට්ටල හිඟය, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් හිඟය පවා තිබියදී එවකට හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ජාතික ජන බලවේගය ඇතුලු ප්‍රගතිශීලීන් එයට විරෝධය පළකළ නිසා පත්‍රිකාව අකුල ගන්න සිදුවුණා. නමුත් ඒ අවස්ථාවේදී මේ අය අධිකරණය ඉදිරියට ගියේ නැහැ. ඒ වගේම සුනාමි ව්‍යසනයට අවුරුදු 18ක් ගතවී තිබුණත් නිවාස අහිමි වූවන් අදටත් ඉන්නවා. ස්වභාවික ආපදාවලින් නිවාස අහිමි වන අය තවත් ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන මැයි 09වැනිදා නිවාස අහිමි වූ දේශපාලඥයන්ට ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට විරුද්ධව ඉදිරිපත් නොවුණේ ඇයි කියලා අහන්න කැමතියි. මේ වගේ අවස්ථා රාශියක් තිබෙනවා. එවැනි අවස්ථා සම්බන්ධයෙන් ඉදිරිපත් නොවීම ගැන මේ පුද්ගලයන් දැන් දරන ස්ථාවරය මොකක්ද කියලා රටට කියන්න ඕනෑ.ඒ වගේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් නොවීමත් නීතිපතිවරයා විසින් නඩු රාශියක් ඉල්ලා අස්කර ගැනීම සහ ඒ නිසා නිදොස්කොට නිදහස් කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. තාක්‍ෂණික ප්‍රශ්න මත නඩු ඉල්ලා අස්කර ගැනීම නීතිපතිවරයාගේ නොසැලකිල්ල බව දක්වමින් රීට් ආඥාවක් ලබාගත හැකියි. ඒ වගේ අවස්ථා රාශියක් මගහැර ඡන්දයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වීමේ අරමුණ කාටත් පැහැදිලියි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්