ගාල්ල, යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේදී අද (19) දහවල් සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ කුරුඳු තලමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී ඒ අසල සිටි තව ත් පුද්ගලයෙකුට සහ සිව් හැවිරිදි දරුවකුගේ පාදයකට සහ උදරයට ද වෙඩි වැදී ඇති බවත් දරුවාගේ තත්ත්වය බරපතළ බවත් යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙලස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 33ක් වූ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු බවත් ඔහු අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකු බවත් පැවසේ.
යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු T56 ගිනි අවියකින් එලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.










