“අන්තර්කාලීන ආණ්ඩුවක අපිට පැවරෙන වගකීම ඉටු කරන්න සූදානම්” – අනුර දිසානායක

“අන්තර්කාලීන ආණ්ඩුවක අපිට පැවරෙන වගකීම ඉටු කරන්න සූදානම්” – අනුර දිසානායක

කඩිනම් මැතිවරණයකට යන තුරු ස්ථාපනය කරන අන්තර්කාලීන ආණ්ඩුවේ අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවරෙන වගකීම ඉටු කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

රටේ අරගලකරුවන් අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම ස්ථිර කළ හැක්කේ ලැබෙන ජනතා වරම අනුව බැවින් එතෙක් ජනතාවගේ පොදු වූත් ප්‍රධාන වූත් ගැටලු කිහිපය කඩිනමින් විසඳිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල ගැඹුරක් තිබෙන බැවින් එය ක්‍රමානුකූලව කළ යුතු බවත් ඒ අනුව ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බව ත් මන්ත්‍රීවරයා කීය.

මුලින් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් “අලුත් අලුත් ජිල්මාට් නොදා” වහා ම ඉවත් විය යුතු බවත් ඒ සමග ම අගමැති රනිල් වික්‍රමසිංහද විවිධ තර්ක විතර්ක කරමින් බලයේ රැඳී සිටීමට ප්‍රයත්න නොදරා ඔහුද ඉවත් විය යුතු බවත් පැවසීය.

විශේෂයෙන් ම රටේ දේශපාලනයේත්, ආර්ථිකයේත්, සංස්කෘතිය තුළත් වෙනස් විය යුතු විශාල කරුණු රාශියක් අරගලය තුළ තිබෙන අතර ඒවා ඉටු කිරීම වෙනුවෙන් තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ඇපකැප වන බව ඔහු සහතික කළේය.

එම නිසා ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බවත් ඊට කලබල විය යුතු නැති බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් බවට පත්කිරීමට නම්, ජනතාවගේ අරගලයේ සැබෑ හරය තේරුම් ගත යුතු බවත් ගෝඨාභය – රනිල් එළවීමෙන්ම පමණක් එය ඉටු නොවන බවත් ඔහු පැවසීය.

මව්බිම – අනුරාධා හේරත්

Facebook
Twitter
LinkedIn