කෙජ්රිවාල්ට මෙවර විශිෂ්ට ජයක්

ගියවර (2014) පැවති දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලබාගැනීමට නොහැකිව සිටි තත්වයක් තුළ මහ ඇමති ධුරය සති දෙකක කාලයක් ඉසිලූ දූෂණය පිටුදැකීම තේමාව කරගත් ආම් ආද්මි පක්ෂය මෙවර විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියා ඇත.

එම පක්ෂය මෙවර ප‍්‍රාන්තයේ ආසන 70කින් 67ක්ම දිනාගැනීමට සමත් වී තිබේ.

මේ වනවිට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ ආසන 3ක් පමණක් දිනා ඇති අතර වසර ගණනාවක් එරට බලය හෙබවූ කොංග‍්‍රස් පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවීමද විශේෂත්වයකි.

දූෂණය පිටුදැකීම තේමාව කරගත් ආම් ආද්මි පක්ෂය වෙතින් තමන් පැහැදිලි පරාජයකට ලක්වූ බව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පිළිගනිමින් අග‍්‍රාමාත්‍යවරයා දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණය ජය ගත් අරවින්ද් කෙජ්රිවාල්ට දුරකථන ඇමතුමක් දී සුබ පැතූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි ප‍්‍රාන්තයේ අල්ලස, දූෂණය සහ ප‍්‍රභූ සංස්කෘතිය අවසන් කරන බව ජයග‍්‍රහණයෙන් අනතුරුව අරවින්ද් කෙජ්රිවාල් ප‍්‍රකාශ කර තිබේ.

ආම් ආද්මි පක්ෂයේ නායක කෙජ්රිවාල් මහ ඇමතිව සිටියදී දූෂණ පිටුදැකීම සඳහා පනතක් ඉදිරිපත් කළ අතර කොන්ග්‍රස් පක්ෂයේ සහ භාරතීය ජනතා පක්ෂයේ සහාය නොලැබීමෙන් එය පරාජයට පත්වූ අතර කෙජ්රිවාල් මහ ඇමතිකමින් ඉල්ලා අස්වීය. මේ අතර පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබීමත් සමග බොහෝ දෙනා අපේක්ෂා කළේ මෝදිගේ දිල්ලි මහ ඇමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇති බවය. කෙසේ වුවද දිල්ලි ඡන්දදාකයෝ කෙජ්රිවාල්ගේ දූෂණ විරෝධී සටන ඉදිරියට ගෙන යමින් ඔහුට මෙවර අතිවිශිෂ්ට ජයක් ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn