රඹුක්කන තිබුණෙත් මිරිහානේ පිටපතම තමයි – ජාතික ජන බලවේගය

රඹුක්කන තිබුණෙත් මිරිහානේ පිටපතම තමයි – ජාතික ජන බලවේගය

“මේ ඝාතනයෙන් පස්සේ තමන් හදාගත් පිටපත කියවන්න පටන්ගෙන තිබෙනවා. මේ පිටපතට අනුව ගත්තහම පීඩනයට පත් ජනතාව රවටා උද්ඝෝෂණය කිරීම ත්‍රීවිල් රථවලට ගිනිතැබීම සහ තෙල් බවුසරයකට ගිනිතැබීමට උත්සාහ කිරීම හැටියට හුවාදක්වනවා. පොලිස්පතිවරයා ප්‍රකාශකර තිබෙන්නේ අවම බලය යෙදවූ බවයි. මේක අවම බලය කියන්නේ මිනිසුන් මරණ එක නම්, උපරිම බලය කියන්නේ මොකක්ද? සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝපට බැලුවහම පැහැදිලිව පෙනෙන්නේ බවුසරය ගිනිතියන්න සූදානම් බව සම්පූර්ණයෙන් ආණ්ඩුව ගොතන ලද කතාවක් බවයි. බවුසරය උදේ ඉඳලම නවත්වලා තිබුණා. උද්ඝෝෂකයක් ගිනිතියනවා නම් ඕනතරම් වෙලා තිබුණා. නමුත් මේ සිදුවීම ගැන අපිට බලවත් සැකයක් මතුවෙලා තිබෙනවා. ආණ්ඩුවේ පිරිසක් යොදවලා මේ ගිනිතැබීම කළාද කියලා. මිරිහානයේ තිබුණේ මේ පිටපතම තමයි. සාමකාමී උද්ඝෝෂණය කරද්දී වෙන පිරිසක් ඇවිල්ලා බස්එකකට ගිනිතියලා තවත් සිද්ධි නිර්මාණය කරලා සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දෙන්න වටපිටාව හදාගත්තා. මෙතනත් ප්‍රහාරය සඳහා වටපිටාවක් හදාගත්තාද කියලා අපට සැකයක් මතුවෙනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (20) පස්වරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහද එක්වි සිටි අතර එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස්,

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා

“පවතින පීඩනයන් දරාගත නොහැකිව පාරට ඇවිත් උද්ඝෝෂණය කරන ජනතාවට තමන්ගේ පොලිසිය යොදවා වෙඩි තියන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රඹුක්කන වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තව විශාල පිරිසක් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මේ කිසිවෙක් ප්‍රචණ්ඩත්වයට ආව අය නොවෙයි. තමන් විඳින පීඩාව දරාගන්න බැරිව සහන ඉල්ලා උද්ඝෝෂණය කළ අයට වෙඩි තියලා පුද්ගලයෙක් ඝාතනය කර, තුවාල සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන සාමකාමී ජනතාවට උත්තර දෙන්නේ වෙඩි උණ්ඩවලින් නම් අපේ රටේ තත්වය මීටවඩා බරපතළ වෙන්න පුළුවන්. මේ ඝාතනය හෙළාදකින අතර මියගිය අයගේ ඥාතීන්ටත් තුවාල ලැබූ සියලු දෙනාටත් අපි අපේ සංවේගය ප්‍රකාශ කරනවා.

මේ ඝාතනයෙන් පස්සේ තමන් හදාගත් පිටපත කියවන්න පටන්ගෙන තිබෙනවා. මේ පිටපතට අනුව ගත්තහම පීඩනයට පත් ජනතාව රවටා උද්ඝෝෂණය කිරීම ත්‍රීවිල් රථවලට ගිනිතැබීම සහ තෙල් බවුසරයකට ගිනිතැබීමට උත්සාහ කිරීම හැටියට හුවාදක්වනවා. පොලිස්පතිවරයා ප්‍රකාශකර තිබෙන්නේ අවම බලය යෙදවූ බවයි. මේක අවම බලය කියන්නේ මිනිසුන් මරණ එක නම්, උපරිම බලය කියන්නේ මොකක්ද? සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝපට බැලුවහම පැහැදිලිව පෙනෙන්නේ බවුසරය ගිනිතියන්න සූදානම් බව සම්පූර්ණයෙන් ආණ්ඩුව ගොතන ලද කතාවක් බවයි. බවුසරය උදේ ඉඳලම නවත්වලා තිබුණා. උද්ඝෝෂකයක් ගිනිතියනවා නම් ඕනතරම් වෙලා තිබුණා. නමුත් මේ සිදුවීම ගැන අපිට බලවත් සැකයක් මතුවෙලා තිබෙනවා. ආණ්ඩුවේ පිරිසක් යොදවලා මේ ගිනිතැබීම කළාද කියලා. මිරිහානයේ තිබුණේ මේ පිටපතම තමයි. සාමකාමී උද්ඝෝෂණය කරද්දී වෙන පිරිසක් ඇවිල්ලා බස්එකකට ගිනිතියලා තවත් සිද්ධි නිර්මාණය කරලා සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දෙන්න වටපිටාව හදාගත්තා. මෙතනත් ප්‍රහාරය සඳහා වටපිටාවක් හදාගත්තාද කියලා අපට සැකයක් මතුවෙනවා.

පුද්ගලයෙක් ඇවිල්ලා ෂෙඩ්එකට ගිනිතිව්වාම තරුණයෝ පිරිසක් ගිහිල්ලා එය නිවා දමනවා. තමන්ගේ ජීවිතයට තිබුණු අනතුර නොසලකා තරුණයෝ ඒ ගින්න නිවා දමනවා. ඒනිසා ආණ්ඩුව ගෙනයන ප්‍රචාරය සම්පූර්ණ බොරුවක්. රාත්‍රියේ එනවා කීව ඉන්ධන බවුසරය එන්නේ උදේ. රෑ දොළහට ඉන්ධන මිල වැඩිකළ නිසා තමන්ට පරණ මිලට ලබාදෙන්න කියලා උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියා. මේ ඉල්ලීම එක වෙලාවක පොලිසියත් පිළිගත්තා. උත්තරයක් නැතිවුණාම උද්ඝෝෂකයෝ තමන්ගේ විරෝධය පළකළා. ආණ්ඩුව සිදුකළේ ඇමතිවරුන්, බලධාරීන්, තමන්ට හිතවත් ඉහළ පොලිස් නිලධාරීන් යොදවාගෙන මේ ප්‍රහාරය එල්ල කිරීමයි. ඊට පස්සේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පිටපත කියවන්න ගත්තා. ඒ පිටපතේ ජේ.වී.පී. එකත් තිබෙනවා. උද්ඝෝෂණවලට බස් අරගෙන ආව කතා කීවා. අපේ උද්ඝෝෂණ පාගමනට බස්වලින් විශාල පිරිසක් අරන් එන්න සිදුවුණා. හැමඑකකටම ජාතික ජන බලවේගය නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ පටලන්න උත්සාහ කර, තමන්ගේ ඝාතනයන් සාධාරණීකරණය කරගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ආණ්ඩුවේ මේ දෙබිඩි කතා පිළිගන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බොරු ගොතලා දැන් ජනතාව රවටන්න බැහැ. මේවා දේශපාලන පක්ෂ හදපු සටන් නොවෙයි. තමන්ගේ දරාගැනීමේ සීමාව ඉක්මවා ගියාට පස්සේ කරන උද්ඝෝෂණ මේවා. සංවිධායකයෙක් නැති ජනතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී නොවන විවිධාකාරයෙන් ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඒ විරෝධතා මර්දනය කරන්න නම් යන්නේ තත්වය ඉතාමත් බරපතළයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලගේ ඉතිහාසයත් ඕකයි. මේ ආණ්ඩුව බලයට ආවේ ලේ විලක් හදලා. පාස්කු ප්‍රහාරය යොදවාගෙන කියලා කවුරුත් දන්නවා. ඒ ආණ්ඩුව බලයේ ඉන්න හදන්නේත් මිනිස් ඝාතනවලින්. වෙඩි තියලා ඒගොල්ලන්ගේ බලය රැකගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. මිනිසුන් පාරට එන්නේ දරාගත නොහැකි පීඩනයන් නිසා. එහෙම අයට වෙඩි තිව්වාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. වෙඩි තියලා පුද්ගලයෙක් ඝාතනය කළාම පසුදවසේ කාටවත් තෙල් හම්බවෙන්නේ නැහැ. තෙල් මිල අඩුවෙන්නෙත් නැහැ. වෙඩි තියන එකෙන් වෙන්නේ මිනීමතින් බලයට ඇවිත් ඒ මතම පවතින්න උත්සාහ කිරීමයි.

මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටිය කාලයේ සිදුකළ දේවල් අපට හොඳටම මතකයි. රතුපස්වල පිරිසිදු වතුර ඉල්ලලා පාරට බැස්ස ජනතාවට වෙඩි තියලා ඝාතනය කළා. එදා රතුපස්වල වතුර ඉල්ලලා පාරට බැස්සාම වෙඩි තියලා ඝාතනය කළා. අද තෙල් ඉල්ලලා පාරට බැස්සාමත් වෙඩි තියලා ඝාතනය කරනවා. හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩි තියලා ඇන්තනී ධීවරයා ඝාතනය කළා. කටුනායකදී වෙඩි තියලා රොෂේන් චානකව ඝාතනය කළා. සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට තිබෙන එකම ක්‍රමය වෙඩි උණ්ඩ කියලයි මේ අය හිතන්නේ. මේ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට හදවතේ තිබෙන්නේ ම්ලේච්ඡත්වය. ඒ අයට ඝාතන කියන එක අලුත් දෙයක් නොවෙයි.

ආණ්ඩුව ඝාතන සංස්කෘතිය වහාම නවත්වන්න ඕනෑ. එය නවත්වන්න කළ යුතු හැමදෙයක්ම අපි කළ යුතුව තිබෙනවා. මේ ඝාතනය රඹුක්කන පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා පිටදාලා බේරෙන්න බැහැ. පසුගිය කාලයේ පැවැති උද්ඝෝෂණ විශාල ප්‍රමාණයක් පොලිසියේ මහත්තවරුන් මැදිහත්වී ඉවසීමෙන් පාලනය කරගෙන ගියා. හැබැයි ඒක ඇතුළේ ආණ්ඩුවෙන් පත්වීම් ගත් උසස්වීම් ගත් ලොකු නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට උපදෙස් දෙන්නේ ආණ්ඩුවෙන්. ඒ නිසා ආණ්ඩුවට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ඝාතනයේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒ නිසා මීට වගකිවයුතු සියලුම දෙනාට නීතිය මගින් දඬුවම් කරන්න ඕනෑ. ආණ්ඩුව පටන්ගන්න මේ සංස්කෘතිය වහාම නවත්වා පීඩවාවට පත්ව උද්ඝෝෂණය කරන ධීවරයා, ගොවියා, ඇතුළු සියලුදෙනාට බලපා තිබෙන සාධාරණ ප්‍රශ්නය විසඳිය යුතුයි. අසීමිත ලෙස මිල වැඩිවීම, භාණ්ඩ හිඟවීම, කළුකඩ නිර්මාණය වීම, හිඟය තුළ සාධාරණ ලෙස භාණ්ඩ බෙදාහැරීම ආණ්ඩුව මැදිහත්වී විසඳිය යුතුයි. පීඩාවට පත් ජනතාවට උත්තර නැතිවෙන කොට නැගී සිටීම ස්වභාවිකයි.

සති ගණනාවක් තිස්සේ ජනතාව එකම ඉල්ලීමයි කරන්නේ. ඊට උත්තර නැති නිසා, වහාම ගෙදර යන්න කියලා ආණ්ඩුවට බලකරනවා. බොහොම සරලව විසඳන්න තිබුණු උද්ඝෝෂණයක් රඹුක්කන තිබුණේ. මේ ආණ්ඩුව සංවේදී නැහැ. බොරු කියා ඇමතිකම් බෙදාගෙන ඒවාගෙන් හම්බකරගෙන සැපවිඳිමින් තමන් ගැන විතරක් හිතන පිරිසක් ඉන්නේ. මනුෂ්‍යත්වය නැති, ම්ලේච්ඡත්වය ඇති නායකයින් ඉන්න ආණ්ඩුවෙන් මීටවඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රශ්න විසඳීමේ එකම ක්‍රමය මර්දනය බවට පත්කර ගත් කෙනෙක්. නමුත් අපි කියන්නේ ඔයගොල්ලො ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ වෙඩි උණ්ඩවලින් නම් ඔයගොල්ලන්ගේ සිංහාසය අහිමිවෙන දිනය ඉක්මන් කරගන්නවා. ලෝකය පුරා ඒකාධිපති පාලකයන් ඝාතනවලින් සිදුකළේ, තමන්ගේ පාලනය ඉක්මන් කරගැනීමයි. මිනිස් ඝාතනවලින් තමන්ගේ පුටුව ආරක්ෂා කරගත් කිසිම පාලකයෙක් සිංහාසනවලින් බැහැලා වසර ගණන් හිරේ ළගින්න සිදුවුණු තත්වය අපි දැක්කා. ඒ නිසා උද්ඝෝෂකයන්ට පහරදීම හා වෙඩි තැබීම ආණ්ඩුව වහාම නතර කළ යුතුයි. ඒ වගේම උද්ඝෝෂකයන් ඉල්ලන සාධාරණ ඉල්ලීම් ලබාදිය යුතුයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමස්ත ජනතාවම නිවැරදි නායකත්වයක් යටතේ එකට එකතුවෙන්න ඕනෑ. මේ දුෂ්ට ආණ්ඩුව පලවා හැරලා සතුටින් සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් පාලනයක් පිහිටුවන්න ඕනෑ. ජාතික ජන බලවේගය හැටියට අපි නැවතත් මීට අදාළ සියලු දෙනාට දඬුවම් කළ යුතු බව අවධාරණය කරනවා.”

රාජපක්ෂවරුන්ගේ ලේ පිරුණු අත්ගැන අපට අමතක වෙලා නැහැ…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී – ආචාර්ය හරිනී අමරසූරිය

“රඹුක්කන වෙඩි තැබීමෙන් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ පවුලේ සියලු දෙනාට පළමුවෙන්ම අපේ සංවේගය ප්‍රකාශ කරනවා. රෝහල් ගතකර සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධියෙන් කම්පනයට පත්ව ඉන්න රඹුක්කන ජනතාව එක්ක අපි හිටගන්නවා. රාජපක්ෂවරුන්ගේ අත් ලේවලින් පිරිලා තිබෙන්නේ. ඔවුන්ට එවැනි ප්‍රචණ්ඩ ම්ලේච්ඡ ඉතිහාසයක් තියෙන්නේ. ඒ සිද්ධීන් එකක්වත් අපිට අමතක වෙලා නැහැ. රතුපස්වල වගේම උතුරු නැගෙනහිර අම්මලා අවුරුදු ගණනක් තිස්සේ හෙළක කඳුළු අපි දන්නවා. කප්පම් සිද්ධිවලින් මරණයට පත්කළ තරුණයන් ගැන අපිට අමතක වෙලා නැහැ. අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්න ගෝඨාභය තමයි විදෙස් මාධ්‍යවේදියෙක් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන ඇහුවාම ඒ කවුද කියලා ඇහුවේ. ගාලු මුවදොර පිටියේ මිනිසුන්ව එල්ලනවා කිවූ එක්කෙනෙක් අද ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නේ. මේකතමයි ඔවුන්ගේ සංස්කෘතිය.

ගෙවී ගිය අවුරුදු දෙකකට වැඩි කාලය තුළ ඔවුන්ගේ භාවිතය වෙනස් කරලා නැහැ. කිසිම හිතක් පපුවක් නැති පවුලක් මේක. මේ පවුලට තවදුරටත් මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. බලයට ආව හැමමොහොතකම රාජපක්ෂ පවුල හැසිරුණේ රට තමන්ගේ බූදලයක් හැටියට සලකලයි. ඒ පවුලට යාන්තම් සම්බන්ධ අය හැසිරෙන්නේ මේ විදිහට. මේ වනවිට රටේ මිනිස්සු පාරට බහින්නේ අතිශයින්ම සාධාරණ හේතූන් මත. දරුවන්ට කන්න දෙන්න බැරි නිසා, කිරිපිටි ටිකක් සොයාගන්න බැරි නිසා, ත්‍රීවිල් එක දුවන්න පෝලිමේ ඉන්න සිදුවීම මේ සියලුදේම දරාගන්නේ කොහොමද? ඔවුන්ගේ දුක, වේදනාව තේරුම් ගන්න බැරි පාලකයන්ගෙන් කිසිවැඩක් නැහැ. ප්‍රශ්න දරාගන්න බැරිව එළියට බහින ජනතාවට තුවක්කුව එල්ල කරන්නේ තමන්ගේ බලය පිළිබඳව විතරක් හිතන, බලය පිළිබඳව කෑදරකමින් ඉන්න පවුලක් නිසා. ඒ පවුලට තවදුරටත් මේ රටත් මේ රටේ ඉන්න මිනිසුන්වත් විනාශ කරන්න දෙන්න අපි සූදානම් නැහැ. රටේ පැනනැගී තිබෙන විරෝධයෙන් මිනිස්සු කියන්නේ මොකක්ද කියලා දැන්වත් තේරුම් ගන්න ඔවුන් දෙන සීනිබෝලවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

අලුත් කැබිනට් එකක් කියලා පත්කළාට මිනිස්සු අහුවෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවල තිබුණේ “ආපිකෝ එකෙන් ගත්ත එකෙන් ගත්ත කැබිනට් එක වෙනුවට දැන් දම්රෝ එකෙන් ගත්ත කැබිනට් එකක් තිබෙන්නේ” කියලා. මිනිස්සු මොවා විහිලුවට ලක්කරනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් අපි ආයාචනයක් කරන්න කැමතියි. ඔබලාගේ පවුල්වලටත් ඔබලාටත් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා කරුණාකරලා ජනතාව වෙතට තමන්ගේ තුවක්කුව හරවන්න එපා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට අණ පිළිපදින්න උගන්වලා තිබෙන්නේ. නමුත් මේ වෙලාවේ ඔවුන් ජනතාව එක්ක හිටගන්නවාද නැද්ද කියලා තෝරා ගැනීමක් කරන්න වෙනවා. මේ ජනතාව අරගල කරන්නේ ඔබගේ ප්‍රශ්න වෙනුවෙනුත් කියලා යුදහමුදාවේ ඉන්න අයටත් පොලිසියටත් අපි මතක් කරන්න කැමතියි. තුවක්කුව වැරදි පැත්තට හරවන්න එපා.

මේ වෙනකොටත් අයි.එම්.එෆ්. එක වැනි ආයතන එක්ක ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ඔවුන්ටත් මතක් කරලා දෙන්න කැමතියි, ජනතා පරමාධිපත්‍ය බලය සියල්ලට වැඩිය ඉහළයි කියලා. ඔබ මේ ගනුදෙනු කරන්නේ පරමාධිපත්‍යය බලය නැති ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුව තවදුරටත් මේ රටේ මිනිසුන්ව නියෝජනය කරන්නේ නැහැ. ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. මොකක් හෝ කරළා බලයේ ඉන්න දඟලන ම්ලේච්ඡ නපුරු පවුලක් එක්ක ගනුදෙනුකර ඒ බලය රැකගන්න හමුනොවෙන්න කියලා අපි යෝජනා කරනවා.”

මහජන හඬට කන්දී ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි…
ජාතික ජන බලවේගයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

“රටපුරා නැගෙන උද්ඝෝෂණවල බරපතළකම මේ ආණ්ඩුව තේරුම්ගෙන නැහැ. සාමකාමීම උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න කියලා ආණ්ඩුවට අපි බලකරනවා. ඒ ජනතාවගේ හඬට කන්දී වහාම ඉල්ලා අස්වෙන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. අගමැති මහින්ද රාජපක්ෂ වහාම ඉල්ලා අස්වෙන්න. මහජනතාවගේ හඬවගේම මේ රටේ වෘත්තිකයෝ පොදුවේ සංවිධානය වෙලා ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බලකළා. අන්තර්වාර පාලනයක් හරහා රට සාමකාමී තත්වයකට පත්කර බරපතළ ප්‍රශ්න විසඳා මහා මැතිවරණයකින් තමන්ගේ පාලනය පිහිටුවා ගන්න ඉඩදෙන්න කියලා ඉල්ලා සිටියා. නිර්පාක්ෂික කියලා හඳුන්වාගන්නා ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉතිහාසයේ කිසිම අවස්ථාවක විරෝධතාවලට සම්බන්ධ නොවූ අය. ඔවුන්ගේ හඬට කන්දෙන්න. එතැන ඉන්නේ මේ රටේ සමස්ත මහජනතාවගේ දරුවෝ. එතන ඉන්නේ අත්දැකීම් අඩු තරුණ පිරිසක්. 1987ට පස්සේ මේවගේ බරපතළ උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී ආණ්ඩුවට විරෝධය පළ කරනවා.

මේ විරෝධයට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, වෘත්තිකයෝ, වෘත්තීය සමිති මේ විරෝධතා ව්‍යාපාරවල ඉන්නවා. පෝලිම්වල රැඳිලා ඉන්න ජනතාවත් දැන් විරෝධතාවලට හවුල් වෙනවා. ඉතාමත්ම තීරණාත්මක මොහොතක මේ රට තියෙන්නේ. ඒ නිසා වහාම මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි. ඉන්පසුව අන්තර්වාර පාලනයක් හරහා මූලික ප්‍රශ්න විසඳාලීමට යම් කාලයක් අවශ්‍යයි. ඉන්පසුව ජනතාවගේ ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ සැලසීමයි කළ යුත්තේ. මේ රටේ සියලුම දෙනා ජාත්‍යන්තරයත් මේ අරමුණ වෙනුවෙන් පෙළගැසෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉක්මන් විසඳුමක් අවශ්‍යයි නම්, රාජපක්ෂ පවුල විසින් කොල්ලකෑ සියලු මුදල් ජනතාව සතු කරගත හැකි ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව ලබාදිය යුතුයි. එතනින් මෙහා විසඳුමක් නැහැ. සියලු ජනතාව එකම ධජයක් යටතේ එකතු කරමින් ජනතාවාදී රජයක් යටතේ සියලු අපරාධකරුවන්ට නිසි දඬුවම් සපයලා මේ රටේ ජනතාවගේ මිනිස් අයිතිවාසිකම් සහ සාමය යළි තහවුරු කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි අපේ උපරිම උත්සාහය ගනිමින් ඉන්නවා.”

Facebook
Twitter
LinkedIn