ආණ්ඩුව හොරෙන්ම හදිසි නීතියත් ඉවත් කර ගනියි

ආණ්ඩුව හොරෙන්ම හදිසි නීතියත් ඉවත් කර ගනියි

සැප්තැම්බර් 06 වනදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා ලද හදිසි නීති රෙගුලාසි මේ මාසයේ දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව මෙතෙක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 30දා නිකුත් කරන ලද අංක 2243/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය හෙවත් හදිසි නීතිය බලාත්මක කරනු ලැබීය. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද එම නිවේදනය දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කළ යුතු වේ. පසුගිය සැප්තැම්බර් 06 වනදා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් සහ විරුද්ධව 51ක් ලැබීමෙන් හදිසි නීතිය සම්මත විය.

හදිසි නීතිය ඉදිරි මාසය සඳහාද බල පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව තුළ දී යළිත් එය සම්මත කළ යුතු වේ. නමුත් හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව එළඹෙන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

හදිසි නීතිය පැනවීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එහි අරමුණ වන්නේ “සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැඟවීම, බෙදාහැරීම, අඩපණ කිරීම, අධික මිල ගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළෙඳපොළ අක්‍රමිකතා ඇති කිරීම ආදී කටයුතු වැළැක්වීම සඳහා සහ පාරිභෝගික ජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීම” බවයි. නමුත් සැප්තැම්බර් 29 වන දා සහල් මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට් පත්‍රය ආණ්ඩුව විසින් අවලංගු කරනු ලැබීය.

භාණ්ඩ හිඟය වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට එරෙහිව විපක්ෂය කියා සිටියේ හදිසි නීතිය පැන වීමකින් තොරව පාරිභෝගික අධිකාරිය පනත සහ 1979 අත්‍යවශ්‍ය මහජන සේවා පනත උපයෝගී කරගෙන එම කටයුතු සිදු කළ හැකි බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්