කතෝලික සභාවටත් ගෝඨා පනී

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන කෙසේ හෝ සිදුවිය යුතු බවත්, එසේ සිදු නොවුණහොත් ජනාධිපතිවරයාගේ නොසතුටටත් එය හේතු විය හැකි බවත් පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා කොළඹ අගරදගුරු නිවසට කතෝලික රදගුරු මණ්ඩලයේ සාමාජිකයන් කැඳවා ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

කතෝලික රදගුරු සභාව යනු ඉතා ස්වාධීන අපක්ෂපාතී මෙන්ම කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන මණ්ඩලයක් බවත් කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයෙන් ආරක්ෂක ලේකම්වරයා සිදුකළ මෙම දැඩි ඉල්ලීම පිළිබඳව ඔවුන් විමතියකින් සිටින බවත් පැවසේ. රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියෙකු මීට පෙර රදගුරු සමුළුවක් එසේ ආමන්ත්‍රණය කර නොමැති බවද එසේ ඇමතීමට හැකියාවක් නොමැති බවද ඔවුන් පවසා ඇත.

මේ අතර පසුගිය 23 වැනිදා සවස 6.00ට පමණ හදිසියේ බස්නාහිර පළාතේ සියලුම කතෝලික පියතුමන්ලා උස්වැටකෙයියාව නාවික හමුදා හෝටලයේදී ආරක්ෂක ලේකම්වරයා කැඳවා තිබේ. මේ සඳහා කතෝලික පියතුමන්ලා 50 – 60ත් අතර පිරිසක් සහභාගී වී තිබේ. එහිදීද ආණ්ඩුවේ සංවර්ධනය ගැන හා කොළඹ අලකංරණය ගැන පැහැදිලි කිරීමක් කර ඇත.

මෙම අවස්ථාවට පියතුමන්ලා කැඳවා තිබෙන්නේ අනුනායක පියනමලා විසින් වන අතර එයට සහභාගී වූ පියතුමන්ලා විශ්වාස කර ඇත්තේ පාප්වහන්සේගේ ආගමනය ගැන සංවිධාන කටයුතු සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවය. නමුත් එයට හාත්පසින්ම වෙනත් දෙයක එම අවස්ථාවේ සිදු වී තිබේ. පාප්වහන්සේගේ ශ්‍රී ලංකා ගමන මහින්ද රාජපක්ෂ පුම්බා ගැනීමේ උත්සාහයක් නිර්මාණය කර ගැනීමට හා එය ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපෘතියක් බවට පත් කරගැනීමටත් මෙසේ කතෝලික සභාවට බලපෑම් කරමින් එය තමන් වෙත නතු කරගැනීමේ උත්සාහයක නිරත වේ.

මෙම සිදුවීම් වලින් පසුව කතෝලික පියතුමන්ලා දැඩි කළකිරීමකින් සිටින බවත් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා ගමන මෙහෙයවන්නේ හා පාලනය කරන්නේ ආණ්ඩුවට වුවමනා ආකාරයෙන් දැයි යන්නත් ඔවුන් ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn