චීනයේ ‘සයිනොවැක්’ බලය තියෙන්නේ මාස 06යි ලූ…

චීනයේ ‘සයිනොවැක්’ බලය තියෙන්නේ මාස 06යි ලූ…

කොවිඩ් වෛරසයට එරෙහිව චීනයේ නිෂ්පාදනය කෙරෙන සයිනොවැක් එන්නතේ සාර්ථකත්වය මාස 06කට පසුව මැකී යන බව චීන පර්යේෂකයන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඇතුළු විදෙස් ජනමාධ්‍ය ආයතන වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දී ඇත්තේ සයිනොවැක් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් මාස 06කට පසුව එය ලබාගත් පුද්ගලයන්ගේ ශරීරවල වර්ධනය වූ ප්‍රතිදේහ ප්‍රමාණය සැළකියයුතු ලෙස පහත වැටී ඇති බවයි.

වීනයේ ජියැංසූ (Jiangsu) ප්‍රාන්තයේ වසංගත අධිකාරිය, සයිනොවැක් නිෂ්පාදන ආයතනය සහ තවත් චීන ආයතන කිහිපයක් ඒකාබද්ධව වයස අවුරුදු 18ත් 59ත් අතර වැඩිහිටියන් පිරිසක් ඇසුරින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මගින් මෙම තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සයිනොවැක්ස් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ ශරීරවල ගොඩනැගුණු ප්‍රතිදේහ මට්ටම මාස 06කට පසුව 16.9%ක ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබේ.

සයිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී ඇත. එම අවසර ලබාදීම් ක්‍රියාවලියේදී අධිකාරියේ එන්නත් කමිටුවේ සාමාජික විශේෂඥයන් සිවුදෙනෙක්ම සයිනොවැක් එන්නතට විරෝධය පළකළ අතර එම විරෝධය නොතකමින් අධිකාරිය එන්නතට අවසර ලබාදී මත විශේෂඥයෝ තිදෙනෙක් ඉල්ලා අස්වීමට කටයුතු කළහ.

සයිනොවැක් එන්නත පිළිබඳ මෙම නවතම පර්යේෂණ වාර්තාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්න සඳහන් කරන ලද්දේ සයිනොවැක් එන්නත මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කර නොමැති බවයි. “අපි අනුමැතිය ලබාදී තියෙනවා තමයි. ඒක ගෙන්නන්න, නොගෙන්නන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. මේ ඖෂධය එන්නේ මොන ප්‍රභේදයටද කියල අපි බලන්නේ නැහැ. වසංගත තත්වය හේතුවෙන් තමයි අපි අනුමත කළේ. ඒත් හදිසි භාවිතය සඳහා පනතේ 109 වගන්තිය යටතේ තමයි අනුමැතිය දුන්නේ. ඒක ගේනවද කියල තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යැයි ඔහු පැවසීය.”

අරුණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්