ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් වී ඇති බැවින් ආනයනික පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ජනතාවට දැනුම් දෙයි.
පිළිකා කාරක අඩංගු ආනයනික පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බව ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන් තරයේ ප්‍රකාශ කරද්දී විජේදාස රාජපක්ෂ මහතා මෙලෙස සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවට ඒ බව දැනුම් දීම විශේෂත්වයකි. එසේම මීට පෙර මෙම තෙල් තොග වෙළද පොළට නිකුත් වී ඇති බව වෙළඳ ඇමතිවරයාද ප්‍රකාශ කරනු ලැබීය.
වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාද ඊයේ (28) දින මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට නිකුත් කළේ නම් ඊට සම්බන්ධ සියලුම දෙනා එල්ලා මැරිය යුතු බවයි. විශේෂයෙන්ම ඔහු එහිදී අවධාරණය කරන්නේ “ශරීරයට අහිතකර විෂ සහිත දේවල් ගෙනල්ලා ඔවුන්ගෙ ලාභය වැඩිකරගන්න මැදිහත් වෙනවා නම් ඒ පුද්ගලයින්ටත් ඔවුන්ට උදව් දෙන, රුකුල් දෙන, ඔවුන්ට මඟ පෙන්වන, ඔවුන්ගෙන් සල්ලි අරගෙන ඒකට උදව් කරන කෙනෙක් ඉන්නවා නම් එල්ලලා මරන්න ඕනෙ” යනුවෙනි.
මෙම පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කිරීම පිටුපස ආණ්ඩුවට සම්බන්ධ කූඨ ව්‍යාපාරික ජාලය ක්‍රියාත්මක බවට විවිධ පාර්ශවයන්ගෙන් මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව ඇති පොල්තෙල් මිලදී ගැනීම පිළිබඳව මේ වනවිට ජනතාව දෙගිඩියාවකින් පෙළෙන අතර ජන ජීවිත පිළිබඳව කිසිදු තැකීමක් නොකොට මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතාමත් ඛේදනීය තත්වයක් බව ඔවුන් පවසති.










