ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයකට ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයකට ප්‍රහාරයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ රෝමානු කතෝලික දේවස්ථානයකට අද (28) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 14 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාස්කු ආගමික සමයේ පළමු දිනය ලෙස සැළකෙන පාම් ඉරිදා දිනය ලෙස අද දිනය ඉන්දුනීසියාවේ නිවාඩු දිනයක් වීම නිසා කතෝලික බැතිමතුන් රැසක් දේවස්ථාන වෙත පැමිණ තිබිණි. බෝම්බය පුපුරාගොස් ඇත්තේ මකසාර් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දේවස්ථානයක් අසල වේ. එම අවස්ථාවේ එහි ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙමින් තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පෙරවරු 10.30 ට පමණ මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර පල්ලියට ඇතුළුවන ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විසින් බෝම්බය පුපුරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන්නට ඇති බවට ඉන්දුනීසියානු පොලීසිය සැක කරන නමුත් මේ දක්වා කිසිදු අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

Facebook
Twitter
LinkedIn