වෙළඳ පොළ තුළ සීඝ්රයෙන් සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සහල් තොග රැස්කිරීමට සූදානම් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඒ අනුව ඉදිරියේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ සංචිතයක් එක්රැස් කිරීමට සූදානම් බවත් ඉන් පසුව මෝල් හිමියන්ට මෙරට සහල් මිල තීරණය කිරීමේ හැකියාව අහිමිවන බවත් කෘෂිකර්ම ඇමතිවරයා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.
මෙරට සහල් මිල ජනතාවට දරාගත හැකි ආකාරයට පාලනය කිරීමට මැදිහත් නොවීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට බරපතළ ලෙස චෝදනා එල්ල වෙමින් ඇති වටපිටාවකදී කෘෂිකර්ම ඇමතිවරයා මෙවැනි ප්‍රකාශයන් ගැටලුකාරී වේ. එම උත්සවයේදී කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුටත් අදහස් දක්වමින් “දැන් අපි ළඟ තියෙනවා වී මෙට්‍රික්ටොන් 50,000ක්. මගේ ඉලක්කය ලක්ෂ 2ක සංචිතයක්. අපි ලක්ෂ 2ක සංචිතය හැදුවට පස්සේ ඔය මෝල්කාර එක මහත්තයෙකුට නටන්න හම්බවෙන්නේ නෑ. රටේ හාල් මිල තීන්දු කරන්නේ අපි.” යනුවෙන් පවසා ඇත.
මේ වනවිට වෙළඳපොළ තුළ මෙරට නිෂ්පාදනය කරනු ලබන සියලුම සහල් වර්ගවල මිළ විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර නාඩු, කීරි සම්බා සහල් වල මිල ජනතාවට දරාගත නොහැකි අන්දමින් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම මේ වනවිට මෙවර මාස් කන්නයේ වී අස්වැන්න නෙලා අවසන් වෙමින් පවතින අතර එවැනි වටපිටාවක අධික ලෙස සහල් මිල ඉහළ යෑම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් වී ගොවීන්ටද එහි වාසිය අත්නොවන බවත් ගොවි සංවිධාන පවසයි.










