පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට විමර්ශනයක් සිදුකළ යුතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න අනාවරණය කරයි.
ඒ අනුව විමර්ශනය සිදු කළ යුතු බවට එහි සඳහන් සෙසු පුද්ගලයින් වන්නේ අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා හා රිම්සාන් යන අය පිළිබඳවය.
මේ වනවිටත් පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇතැයිද ඇය පවසයි.
පසුගිය මාර්තු 08 වන දින මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා නීතිපතිවරයා අතර හමුවක් පැවති බවත් එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයන් පිළිබඳ වර්තමාන තත්වය පැහැදිලි කළ බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න අනාවරණය කරයි.
“කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පරිදි මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වු පාර්ශවයන්ට අවධානය යොමුවී ඇති තත්ත්වය සහ මෙම ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු, කුමන්ත්රණකරුවන් සහ ඍජුවම හෝ අන්‍යාකාරයෙන් මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් පුද්ගලයින් ගැන නිශ්චිත තොරතුරු සහ සාක්ෂි අවසන් වාර්තාව ප්‍රකාරව අනාවරණය නොවන බැවින්, කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙයවන ලද සියලුම සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදුවුණා.“ යැයිද ඇය සඳහන් කරයි.









