ශ්‍රී ලංකා ක්‍රිකට් ඇෆ්ගනිස්ථානයටත් වඩා පහලට වැටේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇෆ්ගනිස්ථානයටත් වඩා පහලට වැටේ

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරඟාවලියන්හිදී ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි.

ඊයේ (07) පැවති අවසන් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 04කට ලකුණු 131 ලබා ගත්තේය. එහිදී පස්වැනි කඩුල්ලට නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් (ලකුණු 54ක්) හා අශේන් බණ්ඩාර (ලකුණු 44)ක් ලබා ගැනීමට සමත් වුවත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එය සටනක් දිය හැකි මට්ටමේ ඉලක්කයක් නොවීය. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 46ක් වන විට මුල් කඩුළු 04 දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් විය. දිනේෂ චන්දිමාල් හා අශේන් බණ්ඩාර හැරුණු විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හැකි වූයේ නායක ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 11) පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 105කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙමින් තරඟයේ වැඩි වාසිය අත්කර ගනිමින් කොදෙව්වන්ට පීඩනයක් එල්ල කරනු ලැබීය. එහෙත් ජවාදික කොදෙව්වන්ගේ ඕනෑම ක්‍රීඩකයකුට පන්දු කිහිපයකදී තරඟයක් වෙනස් කිරීමේ හැකියාව තව දුරටත් සනාථ කරමින් Fabian Allen පන්දු හයකට මුහුණ දෙමින් වේගවත් ලකුණු 21ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 03ක් ද එල්ල කරමිනි. ඔහුගේ ප්‍රහාරය හමුවේ එතෙක් ශ්‍රී ලංකාව දෙසට දෝලනය වෙමින් තිබූ තරඟයේ වැඩි වාසිය කොදෙව්වන්ට ලබා ගනිමින් පන්දුවාර 19ක් අවසානයේදී කඩුළු 03කින් අවසන් තරඟය ජය ගනිමින් තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව්වන් සමත් විය.

අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේදී 3-0 ක පරාජයක් ලැබූ අතර ඉන්දියාවේදී 2-0 ක පරාජයක් අත්කර ගත්තේය. ඉන්පසු පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීම කොදෙව්වන් හමුවේ 2-0 ක පරාජයක් ලැබූ අතර ඉන් හරියටම වසරකට පසුව නැවතත් කොදෙව්වන් හමුවේ 2/1 ක් ලෙස පරාජයට පත්ව තිබේ.

මෙම තරගාවලි පරාජය හමුවේ ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 2006 වසරේ ජුනි මාසයේදී පළමු ජාත්‍යන්තර 20/20 තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එතැන් පටන් එම තරග අංශයෙන් ප්‍රබලතම කණ්ඩායමක් බවට පත් වූ අතර නිරන්තරයෙන්ම ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් කිහිපය අතර පසුවිය.

කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් කොදෙව් තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුව තිබේ. විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තානයද ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉහළින් සිටීමයි.

Facebook
Twitter
LinkedIn