මුල්‍ය වෙළඳපල දැවැන්ත අර්බුදයක අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) අනතුරු හඟවයි!

කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා තවමත් තිරසාර විසඳුමක් හෝ කාර්යක්‍ෂම එන්නතක් සොයාගැනීමට අපෝසත් වීම තුල ලෝක ආර්ථිකයේ හෙට දවස අවිනිශ්චිත වී ඇති බව අන්තර්ජාතික මුල්‍ය අරමුදල ඊයේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. සංවර්ධිත රටවල, මධ්‍යම අදායම් ලබන රටවල් හා දියුණු වෙමින් පවතින රටවල් ආර්ථික වාර්තා උපුටා දක්වමින් ඔවුන් මෙම වාර්තාව නිකුත් කර ඇත.

ඔවුන්ගේ ඇස්තමේන්තුව අනුව 2020-2025 කාලය තුල ලෝක අභ්‍යන්තර දළ ජාතික නිෂ්පධානයට ඩොලර් බිලියන 22000ක් අහිමි වී යනු ඇත. 2020-2021 කාලය තුලදී පමණක් ඩොලර් බිලියන 12000ක් කොරෝනා වසංගතය නිසා අහිමි වී ඇත. කෙසේ වෙතත් මේ වනවිට ලොව සියළුම රටවල් ඩොලර් බිලියන 140000ක් කුඩා හා මධ්‍යම සමාගම් ආරක්ෂා කරගැනීමට හා රැකියා අහිමිවූවන්ගේ හා පාරිභෝගික ජනතාවගේ සුබසාධනය සඳහා වියදම් කර ඇත. එහිදී ඇමරිකාව පමණක් ඔවුන්ගේ ආධාර 4% සිට 14% PIB ක ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත.

මෙම හදිසි වියදම් හා රාජ්‍ය අදායම් අහිමි වීම තුල සිදුවී ඇති අනෙක් අර්බුදය වනුයේ ණය අර්බුදයයි. ලෝක රාජ්‍ය ණය ප්‍රමාණය ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 98%ක් දක්වා ඉහල ගොස් ඇත. එය දියුණු රටවල 122%PIB, මධ්‍යම අදායම් රටවල 63%PIB, දියුණු වෙමින් පවතින රටවල 48.5%PIB දක්වා ඉහල ගොස් ඇත. අන්තර්ජාතික මුල්‍ය අරමුදල් වාර්තාවන්ට අනුව ඉහත දැක්වූ ණය ප්‍රමාණය 2008 දී සුප්‍රකට සුප්‍රයිම් අර්බුදය සමග සැසඳීමේදී ඉතා ඉහල අගයක් වේ.

මේ අතර සිදු වී ඇති අනෙක් අර්බුදය වනුයේ අයවැය හිඟය ඉතා අධික අගයක් ගැනීමයි. එය 2019 දී 3.8%PIB(world) වූ අතර 2020 දී එම අගය 11.8ක් දක්වා ඉහල ගොස් ඇත. එය දියුණු රටවල 3.3%PIB සිට 13.3% දක්වා ඉහල ගොස් ඇත. මධ්‍යම ආදායම් රටවල 10.3%PIB හා දියුණු වෙමින් පවතින රටවල 5.7%PIB ක් වේ. දියුණු රටවල ආදායම් කඩා වැටීම හා හදිසි වියදම් ඉහල යාමත් නොදියුණු රටවල ආර්ථික ක්‍රියා කාරකම් නතර වීමත් මිට හේතු ලෙස සඳහන් කරනු ලබයි.

මේ වනවිට විවිධ නම් වලින් එන්නත් ලෝකයට ඉදිරිපත් වී ඇතත් කොරෝනා රෝගයේ විවිධ ප්‍රභේද ඇතිවීම හා බහුජාතික ඖෂධ සමාගම් අතර වැක්සීන සොයාගැනීම සඳහා ඇතිවී තිබෙන තරගය හමුවේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල වසංගතයට විසඳුමක් සඳහා එක්ව කටයුතු කරලීමේ අවශ්‍යතාවය ප්‍රථමවරට අවධාරණය කර ඇත. ලෝකයේ රටවල් වසංගතය අවසන් වුවා යයි කියා උදම් ඇනුවත් වසංගතය පාලනය වී ඇති අසමාන ආකාරය මත ආර්ථික කේෂ්ත්‍ර වලද ඒ හා සමානව ඇතිවී තිබෙන අසමානත්වය හේතුවෙන් ලෝක ආර්ථිකය ඉතාමත් දුර්වල ස්ථානයක පවතින බව එම වාර්තාව පවසයි.

මේ දක්වා දියුණු රටවල බැංකු පද්ධතීන් විසින් මුදල් පොම්ප කරමින් දේශීය සමාගම්, විදේශීය ආයෝජකයින් හා පාරිභෝගික ජනතාව දිරිමත් කරමින් සිදුකරන මැදිහත්වීම නොකඩවා පවත්වාගෙන යන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටි. එම මැදිහත් වීම හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය 2021 වසරේදී 5.2% ක් ලෙස IMF වාර්තාවේ සඳහන් වේ. එසේම ලෝක වෙළද සංවිධානය ප්‍රති සංවිධානය කිරීමටත් දැනට මුල්‍ය වෙළඳ පලේ පවතින අඩු පොළී අනුපාතය දිගටම පවත්වා ගැනීම ආර්ථික වර්ධන වේගය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය බවටද අවධාරණය කරනු ලබයි.

පවතින තත්වය හමුවේ නොදියුණු රටවල මුහුණ දී අර්බුධය සමනය කිරීම සඳහා ණය අහෝසි කිරීම විසඳුමක් ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා යෝජනා කර සිටි. මේ වනවිට දියුණු රටවල් හා ජාත්‍යන්තර මුල්‍ය ආයතන දියුණු වෙමින් පවතින රටවල ණය වාරිකයන් අයකිරීම තවකාලිකව අත්හිටුවා ඇතත් අධික පොළියට ණය ලබා දුන් ජාත්‍යන්තර වාණිජ බැංකු තවමත් තම මාසික වාරික අය කරගනිමින් සිටිති. ලොව පුරා ජනතාව වසංගත තත්වය නිසා පිඩා විඳින තත්වයක් තුලදී පවා වාණිජ බැංකු විසින් ණය වාරික අයකිරීම පවත්වාගෙන ගෙන යාම ලෝක වමේ ව්‍යාපාර විසින්ද හෙලා දැක තිබේ.

Facebook
Twitter
LinkedIn