අභිමානවත් යුග පුරුෂයෙකුගේ සැමරුම

ලතින් ඇමරිකානු කලාපයේම ඉතිහාසය වෙනස් කළ අභිමානවත් යුග පුරුෂයෙකු වූ හියුගෝ චාවේස්ගේ 60 වන උපත සහ වෙනිසියුලානු එක්සත් කොමියුනිස්ට් පක්ෂයේ 3 වන සමුළුව ඊයේ (28) කරකාස් නුවරදී පැවැත්විණි. බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලේස්, සැල්වදෝරයේ නායක සැල්වදෝර් සැන්චෙස්, නිකරගුවානු ජනාධිපති ඩැනියෙල් ඔටේගා, ඩොමිනිකන් ජනරජයේ ජනාධිපති ලයනල් ෆර්නැන්ඩස්, කියුබානු උප ජනාධිපති මිගල් ඩයස් ඇතුළු නායකයින් රැසක් සමරුවට සහ සමුළුවට සහභාගි වී සිටියහ.

වෙනිසියුලාවේ ජනාධිපති ධූරය හෙබවූ හියුගෝ චාවේස් සැලකුම් ලැබුවේ මුළු මහත් ලතින් ඇමරිකානු කලාපයේම නායකයා වශයෙනි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හමුවේ දණ නොනැමූ චාවේස්, ලතින් ඇමරිකාව අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට දැවැන්ත අරගලයක් කළේය. ඒ සඳහා කලාපයේ රටවල් එකට එකතු කර ශක්තිමත් පදනමක් දැමීය.

ඇමරිකාවට හා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නොබියව ක්‍රියා කරමින් බුෂ්ටත් බැරැක්‌ ඔබාමාටත් අවශ්‍ය ලෙස නැටීමට තමා සූදානම් නැතැයිද වෙනිසියුලාව ක්‍රියාකරන්නේ ජනතාවගේ හදගැස්‌ම අනුව බවද හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටියේය. එමෙන්ම වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකානු සමාගම්වලට ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඒවා ර‍ජය යටතට පත් කළේය.

මේ නිසා හියුගෝ චාවේස්‌ව මර්ධනය කිරීමේ අරමුණින් ඇමරිකාව විවිධ සම්බාධක පනවමින් එම තීරණය වෙනස් කිරීමට බලකළ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා, වෙනිසියුලාව පාලනය වන්නේ වෙනිසියුලාවේ ජනතාවට අවශ්‍ය ලෙස මිස ඇමරිකානු න්‍යාය පත්‍රය අනුව නොවේ යැයි අවධාරණයෙන් කියා සිටියේය. ඉන් පසු චාවේස්‌ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇමරිකාව විසින් එල්ල කරද්දී ඊටද ප්‍රතිචාරය දැක්‌වූ චාවේස්‌ පැවසුවේ ලෝකයේ බිහිසුනුම මානව හිමිකම් උල්ලංඝනය කරන්නා ඇමරිකා එක්සත් ජනපදය බවයි.

කියුබාවේ අසහාය නායක පිදෙල් කැස්‌ත්‍රෝගේ ආර්ථික පුතිපත්ති සහ උපදෙස් අනුගමනය කළ චාවේස්‌ ඉතා බලවත් CIA සංවිධානයේ කටයුතු හමුවේ ජීවිත අවධානම පවා නොතකා නිර්භවය ක්‍රියා කළේය. වෙනිසියුලානු හමුදා නිලධාරීන් පිරිසක්‌ තමන්ගේ ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනකු පිටුවහල් කිරීම ඊට එක් උදාහරණයකි. ඉන් මහත් ලැජ්ජාවට පත්වූ ඇමරිකාවට සිද්ධිය සම්පූර්ණයෙන්ම වසන් කිරීමට පවා සිදු විය.

එමෙන්ම සහයෝගීතාවය සම්බන්ධ ප්‍රකාශ වලට පමණක් සීමා නොවූ චාවේස් ඇමරිකානු තෙල් සමාගම්වලට වඩා ඉතා අඩු මිලට දකුණු ඇමරිකාවේ රටවල්වටල තෙල් අළෙවි කරමින් එම රටවල ආර්ථිකයටද පහසුවක් ඇති කළේය.

වරක් වෙනිසියුලාවේ සිදුවූ CIA කුමන්ත්‍රණයකදී ජනාධිපති චාවේස් හමුදා අත්අඩංගුවට පත්විය. එහෙත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ ඔහු රැඳවූ ස්ථානය වටලා ඔවුන්ගේ ජනාධිපතිවරයාව නිදහස්කර ගත්හ. ඒ නිසාම ජාත්‍යන්තරයෙදී ඔහුව හැඳින්වූයේ ජනතාවගේ ජනාධිපති නමිනි.

අවසානයේ ඔහුගේ රජය කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් පෙරළාදැමීමට CIA සංවිධානය උත්සාහ කළ අතර ඔහුව මරා දැමීමටද සැලසුම් සකස් කරන ලදි. කෙසේ වෙතත් ඇමරිකාවට ලොකුම හිසරදයක් වී තිබුණු මේ අසහාය නායකයා පසුගිය වසරේ පිළිකා රෝගයකින් මිය ගියේය. ඉන් ලතින් ඇමරිකාව කෙතරම් කම්පනයකට පත්වූයේදැයි කිවහොත් කලාපයේ හැම රටකම පාහේ ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කෙරිණි.  හියුගෝ චාවේස්ගේ මරණය පිළිබඳව චෝදනාව එල්ල වූයේ ඇමරිකාවටය. ඊට හේතු වූයේ පිළිකා රෝගය ශරීරයට එන්නත් කළ හැකි විෂබීජයක්‌ සීඅයිඒ සංවිධානය නිර්මාණය කර ඇති බව ඇමරිකාවෙන් පළාගිය වෛද්‍යවරයෙක්‌ ප්‍රකාශ කර තිබීමය.

එදා ඔහු මියගියත් ලෝකය පුරා සාධාරණත්වය අගයන ජනතාවගේ හදවත් තුල තවමත් ජීවත් වේ. එදාටත් වඩා අද ඔහුගේ බලපෑම ලතින් ඇමරිකාව පුරාම පැතිරී ඇත. කලාපයේ නායකයෝ හියුගෝ චාවේස් ගෙන ගිය වැඩ පිළිවෙල ඉදිරියට පවත්වාගෙන යන බවට ශපථ කර සිටියහ. වෙනිසියුලාවේ කරකාස් නුවර පැවති ඔහුගේ 60 වන ජන්ම දින සමරුවට පැමිණි නාකයෝද එය නැවතත් ප්‍රකාශ කරමින් තහවුරු කර තිබේ.

ලෝක ඉතිහාසයේ යුග පුරුෂයන් දුලභය. විශේෂයෙන් හියුගෝ චාවේස් වැනි උදාර, එඩිතර, මහා යුග පුරුෂයන් දුලභය.

පසුවදන – හියුගෝ චාවේස්ගේ භාවිතාවන් ලංකාව වැනි රටකට වඩාත් දැනෙන්නේ ඇමරිකාවට දණ නමා ජනතාවට චණ්ඩිකම් පෙන්වන ලාකාවේ පාලකයන්ගේ නිවට ක්‍රියාකලාපය නිසාය. ජාත්‍යන්තරයේදී ඇමරිකාවට සහ අධිරාජ්‍යවාදීන්ට එකඟව දේශද්‍රෝහී වී රට තුලදී දේශප්‍රේමය පින්තාරු කරගෙන සිටින දෙබිඩි නායකයන් සහ ඇමරිකානු පුරවැසියන් පවා රාජ්‍ය පාලනයේ ඉහලම තනතුරු දරන පාලනයක් අපට හිමිව තිබේ. එවන් වටපිටාවක හියුගෝ චාවේස්ලාගේ දැවැන්ත ප්‍රතිරූප ඉදිරියේ ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ ජනතා ද්‍රෝහීත්වය මැනවින් ප්‍රකට වේ.

ජනතාවගේ ජනාධිපති

Facebook
Twitter
LinkedIn