රාමසාන් මාසය තුළ ලබාගන්නා උතුම් ගුණාංග වසර පුරාම ක්‍රියාවට නැංවීමට මුස්ලිම් බැතිමතුන් දරන අධිෂ්ඨානයට තමන් සුබ පතන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදට (29) යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.
අසත්‍ය දුරු කර සත්‍ය රජ කරවීම පෙරදැරිව මාසයක කාලයක් මුළුල්ලේ මුස්ලිම් බැතිමතුන්ගේ අස්සවුම් හෙවත් රාමසාන් උත්සවය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුලුනු පහෙන් එක් කුලුනක් වේ.
උපවාසයේ අරමුණ වනුයේ නිරාහාරව සිටීම පමණක් නොව උපවාසය මගින් ලබාගන්නා කරුණාව, මෛත්‍රිය හා ඉවසීම අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමයි. රාමසාන් මාසය තුළ ලබාගන්නා වූ මානුෂික හා කායික වර්ධනය යහපත් සමාජයක් සහ ජීවිතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇත.
තමන් වෙහෙස මහන්සි වී උපයාගත් සම්පතින් සුළු කොටසක් නැති බැරි අයට ලබාදී සමාජයේ දුප්පත් පොහොසත් පරතරය දුරලන උතුම් කර්තව්‍යයේ නියෑළීම සහෝදරත්වය වර්ධනය කිරීමට ද මහඟු අවස්ථාවක් වේ. පාරිශුද්ධ වූ අල්කුර්ආනය පළමු වරට ලොවට පහළ වූයේ ද මෙවැනි රාමසාන් මාසයකය. රාමසාන් මාසය තුළ ලබාගන්නා වූ උතුම් ගුණාංග එම මාසයට පමණක් සීමා නොකොට ජීවිතයේ අනිකුත් මාස තුළ ද ක්‍රියාවට නැංවීම මුස්ලිම් බැතිමතුන්ගේ අධිෂ්ඨානයයි. ඒ අධිෂ්ඨානය පෙරදැරිව අද දින රාමසාන් අවුරුද්ද සමරන සියලු මුස්ලිම් ජනයාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.









