ජනාධිපතිවරයාගේ රාමසාන් සුබ පැතුම් පණිවිඩය

ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනයා සියවස්‌ ගණනාවක්‌ පුරා අපේ රටේ අනෙක්‌ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සමඟ සමගියෙන් ජීවත් වූ ආකාරයට පසුගිය මාසයේ වත්පිළිවෙත්හි නියෑලුණ බවත් අද රටේ පවත්නා සාමකාමී වාතාවරණය ඔවුන්ට සිය ආගමික කටයුතුවල පහසු ලෙස නියෑළීමට උපකාරී වී ඇති අතර සමාජයේ අභිවෘද්ධිය සහ රටේ සංවර්ධනය උදෙසා එය තවත් ස්‌ථාවර කිරීමට අප කැපවිය යුතු බවත් අදට (29) යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුයෙන් සුබපැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

අද දින ඊදුල් – පීතර් උත්සවය සමරන ඉස්‌ලාම් බැතිමතුන් වෙත මා මෙම සුබපැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.

ඉස්‌ලාම් දහමේ සම්ප්‍රදායයට අනුව යමින් භක්‌තිමත් උපවාසය සහ වෙනත් ආගමික වතාවත්වල යෙදීමේ සුවිශේෂී කාලය සම්පූර්ණ කිරීම සැමරීමට ශ්‍රී ලාංකික මුස්‌ලිම් ප්‍රජාව අද ලොව පුරා සිටින ඉස්‌ලාම් සහෝදර සහෝදරියන් සමඟ එක්‌වෙති. ශුද්ධ වූ කුරානයේ හා ශුද්ධ වූ මුහම්මද්තුමාගේ ඉගැන්වීම්වලට අනුව යමින් ආගමානුකූල උපවාසයේ යෙදීම, ආධ්‍යාත්මික වටිනාකම්වලට ගැඹුරින් අවධානය යොමුකිරීම, යාඥව හා කැපවීම වැනි ආගමික පිළිවෙත්හි යෙදෙන ශුද්ධ වූ මාසයක අවසානය වන මේ අවස්‌ථාව උත්සව පැවැත්වීමේ කාලයයි.

එකමුතු බවේ හා අවබෝධයේ සංස්‌කෘතියක්‌ තුළ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට මුස්‌ලිම් ප්‍රජාවේ අගනා දායකත්වය මේ අවස්‌ථාවේ සිහිපත් කරන අපි රටේ අනාගත ප්‍රගතිය සඳහා එවැනි යහපත් සබඳතාවන් දිගටම පවත්වාගෙන යැමට බලාපොරොත්තුව සිටිමු. ශ්‍රී ලංකාවේ සියලු මුස්‌ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් පීතර් උත්සවයක්‌ වේවායි මම ප්‍රාර්ථනා කරමි.

Facebook
Twitter
LinkedIn