සාමය ආරක්ෂා කිරීමට මෙම රාමසාන් දිනයේ අදිටන් කරගනිමු! – ජවිපෙ

අධිරාජ්‍යවාදී-සියොන්වාදී අශුද්ධ සන්ධානයේ ලාංකීය ඛණ්ඩය රාජ්‍ය අන්ග‍්‍රහය ලබමින් මුස්ලිම් ජනතාවට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් පවතින බවත් එමගින් ජාතික සමගිය බිඳ දැමීමටත් අධිරාජ්‍යවාදයට හා සියොන්වාදයට ශී‍්‍ර ලංකාවට අත පෙවීමටත් අත්‍යාවශ්‍ය තත්වයන් ඇති කරමින් සිටින බවත් මෙම මිනීමරු කුමන්ත‍්‍රණ පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ශී‍්‍ර ලංකාවේ සියලු පුරවැසියන්ට ආයාචනය කර සිටින බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය රාමසාන් දින පණිවිඩය නිකුත් කර තිබේ.

ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම පණිවිඩය පහත පළ වේ.

ශ‍්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ද සිය ආගමානුකූලව සමරන රාමසාන් දිනය අදට (29) යෙදී තිබේ.

අදට යෙදෙන රාමසාන් දිනයට පෙර සිට මාසයක කාලයක් පුරා ඉස්ලාම් බැතිමත්තු උපවාස ශීලය රකිති. දුෂ්කර ජීවිත ගත කරන තමන්ගේ සහෝදර ජනයාට උදව් උපකාර කිරීමට එම කාලය තුළ ඔවුහු ක්‍රියා කරති. නැති බැරි අයට උදව් කිරීම සඳහා ඇති හැකි අය මෙම කාලයේ ක‍්‍රියා කරති. මෙම උපවාස කාලය තුළදී විශේෂයෙන්ම අගය කිරීමට ලක් වන්නේ සහෝදරත්වය හා අල්පේච්ඡුතාව, පරාර්ථකාමය ආදී ගුණාංගයන්ය.

සියලුම සම්පත් සහෝදරත්වයේ පදනම මත සියලු දෙනා අතරේ සමානව බෙදී යා යුතුය යන අදහස මුල් කර ගනිමින් ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන මෙම උපවාස කාලය මෙන්ම රාමසාන් උත්සවයද සුවිශේෂී වැදගත්කමකින් යුක්තය. එහි ආදර්ශය ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව සෙසු ජනතාවටද වැදගත් යැයි අපි විශ්වාස කරමු.

කෙසේ වෙතත් මේ මොහොතේ ලොව පුරා මුස්ලිම් ජනතාවට මෙන්ම ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනතාවට ද එල්ල වී ඇති අධිරාජ්‍යවාදී-සියොන්වාදී අශුද්ධ සන්ධානයේ කුමන්ත‍්‍රණ හා ප‍්‍රහාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජනතාවගේ දැඩි අවධානය යොමු කර සිටී. අධිරාජ්‍යවාදී-සියොන්වාදී  අශුද්ධ සන්ධානයේ ලාංකීය ඛණ්ඩය රාජ්‍ය අන්ග‍්‍රහය ලබමින් මුස්ලිම් ජනතාවට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් පවතී. එමගින් ජාතික සමගිය බිඳ දැමීමටත් අධිරාජ්‍යවාදයට හා සියොන්වාදයට ශී‍්‍ර ලංකාවට අත පෙවීමටත් අත්‍යාවශ්‍ය තත්වයන් ඇති කරමින් සිටී. මෙම මිනීමරු කුමන්ත‍්‍රණ පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ශී‍්‍ර ලංකාවේ සියලු පුරවැසියන්ට ආයාචනය කර සිටී.

මේ අවස්ථාවේ රාමසාන් උත්සවය පවත්වන ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.

Facebook
Twitter
LinkedIn