හෙද ප්‍රශ්නයටත් ආණ්ඩුවෙන් අතීසාරයට අමුඩ ගැහිල්ලක්

ආණ්ඩුව හෙද පුරප්පාඩු අර්බුදයටත් අතීසාරයට අමුඩ ගසන ආකාරයේ පිළිතුරු සොයමින් සිටින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින හෙද පුරප්පාඩු 3300 ක් සඳහා විශ්‍රාමිකයින්ට අවස්ථාව ලබා දෙන බවට සෞඛ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ආණ්ඩුව කරමින් ඉන්නේ වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු සඳහා නියමිත පරිදි පුරප්පාඩු පිරවීම මඟහැරීමයි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ 500-700 ත් අතර හෙදියන් ප්‍රමාණයක් විශ්‍රාම යනවා. ඒවගේම 400 ක් පමණ වාර්ෂිකව ‍විදෙස් ගත වෙනවා. එම පුරප්පාඩු පිරවීම සඳහා ආණ්ඩුව කළ යුත්තේ වාර්ෂිකව හෙදපුහුණුව සඳහා අළුතින් බඳවාගැනීම සිදු කිරීමයි. නමුත් එය ආණ්ඩුව මඟහරිමින් ඉන්නවා.මේ වනවිටත් 2009 – බී කණ්ඩායමේ හෙදියන් 1457 දෙනෙක් පසුගිය දෙසැම්බර් මාසයේ පුහුණුව අවසන් කළ අතර මාස 09 ක් පමණ නිකරුණේ කාලය ගත කරමින් ඉන්නවා. ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමටත් සූතිකා පුහුණුව ලබා නොදීමත් නිසා බඳවාගැනීම් ප්‍රමාද වෙමින් තිබෙනවා.ඔවුන් තාවකාලික පදනමින් බඳවාගැනීමට හැකි වුනත් ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු ‍නොකිරීම කණගාටුවට කරුණක්. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ විශ්‍රාම ගිය හෙදියන් වසරක කාලයකට නැවත සේවයට බඳවාගැනීමයි. මෙය අර්බුදයට විසඳුමක් නොවෙන අතර ඉදිරියේදී අර්බුදය දෙගුණ කිරීමක් පමණයි. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව හෙඳ පුරප්පාඩු ප්‍රමාණය වැඩි වන නිසා ඉහළ තනතුරුවලටද හෙද හෙදියන් උසස් නොකිරීමද බරපතල ගැටළුවක් වෙලා තිබෙනවා.”

Facebook
Twitter
LinkedIn