එජාපය පරාද වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (25) සවස කතරගම බස් නැවතුම්පොළ ඉදිරිපිට රැලියක් පවත්වමින් නිළ වශයෙන් ප්රචාරක කටයුතු ආරම්භ කළේය. ඌවේ මහ ඇමති වශයෙන් පෙනී සිටිමින් කතරගම ප්‍රාදේශීය සභාවේ සම්පත් සහ සේවකයන් යොදා ගෙන මෙම රැළියේ ප්‍රචරක කටයුතු කර ඇති අතර මහජනතාව ගෙන්වා ගැනීමද කර තිබේ. ත්‍රීවීලර් ටයර් ලබා දෙන බව සහ භාණ්ඩ කට්ටලයක් බෙදා දෙන බව ප්‍රකාශ කරමින් ඉල්ලුම් කරන ජනතාව ලියා පදිංචි කරවා ගෙන රැලියට සහභාගිවීම අනිවාර්ය කර තිබිණ.
මෙම රැලිය ආමන්ත්‍රණය කරමින් මුලින්ම කතා කළ කථිකයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වී රටේ මීලඟ නායකයාද වනු ඇති බවය. එම කථිකයා, “1970දී ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඇමති ධූරයක් ලබා ගන්න අවුරුදු 24කට වැඩි කාලයක් ගියා. එතුමා ඉවසීමෙන් ඒ ගමන ආවා. අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමා තමයි ඩී. ඒ. රාජපක්ෂ දැකපු පළවෙනි මුණුබුරා. එතුමා වේගවත් දේශපාලන ගමනක යෙදෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙතුමා ඉක්මනින්ම පත් වෙනවා. ඊට පස්සෙ ඊලඟ ජනාධිපති වෙන්නේ අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමති තුමා.” යැයිද පැවසීය.
මේ වනවිට මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක තුළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව විශාල ප්රචාරක ව්‍යාපාරයක් දියත් කෙරී ඇත. මේ පිටුපස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටින බව අනාවරණය වේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ප්රචාරක කටයුතු නිළ වශයෙන් ආරම්භ කරමින් මුල්ම කථිකයා ලවා ඉහත සඳහන් ආකාරයට ප්‍රකාශ කරවාගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දියත් කර ඇති ප්රචාරක ව්‍යාපාරයට එරෙහිව බව සනාථ වේ.









