වේදිකා නාට්‍ය යළි ආරම්භ කිරීමට කලා සංගමයෙන් වැඩපිළිවෙළක්

වේදිකා නාට්‍ය යළි ආරම්භ කිරීමට  කලා සංගමයෙන් වැඩපිළිවෙළක්

පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වනවිට නතරකර දමා ඇති වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට ආරම්භ කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් සමාජවාදී කලා සංගමය විසින් ආණ්ඩුවට භාරදී තිබේ.

එම වැඩපිළිවෙල සමාජවාදී කලා සංගමයේ නියෝජිතයින් විසින් අද (13) පෙරවරුවේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදී ඇත.

එම අවස්ථාවට කලාකරුවන් නියෝජනය කරමින් රංගන ශිල්පිණි දීපානි සිල්වා, රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ හා සමාජවාදී කලා සංගමයේ ජාතික සංවිධායක නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් සහභාගී වූ අතර එම වැඩපිළිවෙළ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අත්තනායක හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ නාට්‍ය හා රංග කලාව විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුණ අලහකෝන් විසින් භාරගෙන තිබේ.

එහිදී සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන විසින් මේ පිලිබඳව කඩිනමින් සොයා බලා ඉක්මන් පියවර ගැනීමට එකඟ වී ඇති අතර සංස්කෘතික මධ්‍යස්ථාන හා රජයට අයත් පොදු ශාලාවන් නාට්‍ය පුහුණුවීම් හා නාට්‍ය ප්‍රදර්ශනය සදහා පහසු ක්‍රමවේදයකට ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසීමටත් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු සලසාදීමට හා අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ඉඩකඩ සොයාබැලීමටත් එකඟතාවය පලකර ඇත.

වර්තමානයේ ඇති වී ඇති කොවිඩ් වසංගත තත්වයත් ඉන් පෙර පාස්කු බෝම්බ ප්‍රහාරයත් නිසා රටේ ඇති වූ ව්‍යාකූල තත්වය හේතුකොටගෙන වසර දෙකකට ආසන්න කාලයක් ලාංකේය වේදිකා නාට්‍ය කලාව අකර්මණ්‍ය වී තිබීමත් සිනමා ශාලා ආරම්භ වුවද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් වෙන බවක් පෙනෙන්ට නොතිබීමත් පිළිබඳවද එහිදී සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමු කර ඇත.

වේදිකා නාට්‍ය කලාවත් සමඟ නිර්මාණ කරනයේ යෙදුණු බොහෝ පිරිසක් මහත් දුෂ්කරතාවයන්ට පත් වී සිටීමත් බිද වැටෙමින් යන ආර්ථික, සමාජීය ජීවිතයට කලාව රසවිඳීමේ සංස්කෘතික ජීවිතයද අහිමි වී තිබෙන බැවින් මෙි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්ෂේත්‍රයේ කලාකරුවන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේන් ලැබුණු අදහස් හා යෝජනාද මත පදනම්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා සමාජවාදී කලා සංගමය විසින් මෙම වැඩපිළිවෙළ සකස් කර උක්ත නිලධාරීන් වෙත අවශ්‍ය කටයුතු සඳහා භාරදී ඇති අතර එය පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්