රටේ සුවිශේෂී ආර්ථික ජයග්‍රහණය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරනයක්

රටේ සුවිශේෂී ආර්ථික ජයග්‍රහණය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරනයක්

කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය, අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතින බවත් එය සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එක්වෙමිනි.

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් තවදුරටත් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමඟම මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු ඒහිදී අනාවරණය කර ඇත.

උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීම සහ රාජ්‍ය ණය ප්‍රතිසංස්කරණය කිරීම මගින් සමස්ත ආර්ථිකය තුළ හදිසි කැලඹීම්, අධික උච්චාවචනයන් හෝ පාලනය කළ නොහැකි අවදානම් නොමැතිව, මූල්‍ය හා ආර්ථික කටයුතු නිසි පරිදි සහ සුමටව පවත්වාගෙන යාමේ ආර්ථික ස්ථාවරත්වය (මැක්‍රෝ ආර්ථික ස්ථාවරත්වය) තහවුරු වී ඇති බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

පසුකාලීනව දියත් කළ ආර්ථිකය ස්ථාවර කිරිමේ වැඩසටහන් හරහා විදේශ සංචිත නැවත ගොඩනැගීමට හැකියාව ලැබී ඇති බවත් ඊට අමතරව උද්ධමනය පාලනය කිරීමටත් මූල්‍ය ශේෂයන් යථා තත්වයට පත් කර ගැනීමටත් හැකියාව ලැබුණු බවත් මහ බැංකු අධිපති එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තදබල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඉතා වේගයෙන් ආර්ථිකය යථා තත්වයට පත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හොඳ නිදසුනක් බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්