චීන-ඉන්දීය මතභේද වර්ධනය වන ලකුණු – ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවයි…

චීන-ඉන්දීය මතභේද වර්ධනය වන ලකුණු – ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවයි…

මේ වනවිට චීනය සහ ඉන්දියාව අතර මතභේදයන් වර්ධනය වෙමින් පවතින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අදට (අගෝස්තු 15) යෙදී ඇති ඉන්දීය 74වන නිදහස් නිවයේදී ජාතිය අමතමින්, ඉන්දියාවේ දේශසීමාවට අත නොතබන්නයි චීනයට අනතුරු ඇඟවා තිබේ.

හිමාල අඩවියේ දේශසීමා කලාපයේ හමුදා කඳවුරු බැඳීම ලිහිල් කිරීම පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ ඉන්දියාවේ ස්වෛරීභාවය “උත්තරීතර” බවත් අසල්වැසියන් සමඟ සබඳතා රඳා පවතින්නේ ආරක්ෂාව සහ විශ්වාසය මත බවත් ය.

නවදිල්ලියේ පිහිටි ඓතිහාසික රතු බලකොටුවේ පැවැති අග්‍රාමාත්‍යවරයාගේ කතාව සඳහා පැමිණීමට නියමිත පිරිසෙන් අඩක් පමණ අඩුකරන ලදි. එහෙත් 4000ක් පමණ වු පැමිණි පිරිස කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මීටර් දෙකක් (අඩි හයක්) පමණ ඈතින් වාඩි වී සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාකිස්තානය හා චීනය සමඟ පවතින දේශසීමා මතභේද සම්බන්ධයෙන් ගැටුමකට සූදානම් යයි අදහස් දැක්වූ නමුත් කිසිදු රටක් එක එල්ලේ නම් නොකළේය. “රටේ ස්වෛරීභාවය පිළිබඳව විමසිල්ලෙන් සිටින ඕනෑම අයෙකුට, රටේ හමුදාව ඔවුන්ගේ භාෂාවෙන් පිළිතුරු ලබා දී ඇත,” යයි අගමැතිවරයා පැවසීය.

“ඉන්දියාවේ අඛණ්ඩතාව අපට උත්තරීතරයි. අපට කළ හැකි දේ, අපේ සොල්දාදුවන්ට කළ හැකි දේ – හැමෝම ලඩාක්හිදී දුටුවා.” යයි ජුනි 15 වන දින හිමාලයේ ලඩාක් කලාපයේ චීන හමුදා සමඟ ඇතිවූ දේශසීමා ගැටුම ගැන සඳහන් කරමින් හෙතෙම පැවසීය. මෙම ගැටුමෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු මිය ගිය අතර දෙපාර්ශ්වයම කුඩා ප්‍රමාණයේ අවි ආයුධ වලින් සටන් කරමින් සිටියහ.

චීනය ද සිය හමුදා සාමාජිකයන් තුවාල ලබා ඇති බව පිළිගෙන ඇති නමුත් සංඛ්‍යාලේඛණ දී නැත. දෙපාර්ශ්වයම එකිනෙකාට දොස් පවරා ඇති අතර චීනය සහ ඉන්දියාව 1962 දී දේශසීමා යුද්ධයක් කළහ. රටවල් දෙකම පරාජය පිළිගැනීමට සූදානම් නොවන හෙයින් ඉන්දීය හා චීන හමුදා දස දහස් ගණනක් ලඩාක් කලාපයට යවා ඇත.

මේ අතර ඉන්දියාව චීනයට එරෙහිව ආර්ථික ආයුධද භාවිතා කර තිබේ.

ප්‍රධාන පෙළේ වීඩියෝ මෘදුකාංගයක් වන ටික්ටොක් ඇතුළු චීන යෙදුම් 59 ක් ඉන්දියාව විසින් තහනම් කරනු ලැබ ඇත. චීන සමාගම් කොන්ත්‍රාත්තු වලින් නිදහස් කර එහි ආනයන අවහිර කිරීමට වෙනත් පියවර ගෙන තිබේ.

“අසල්වැසියෙක් යනු අපගේ භූමිය බෙදා හදා ගන්නා අයෙකු පමණක් නොව අපගේ හදවත් බෙදාගන්නා අයයි. සම්බන්ධතාවයට ගරු කරන තැන එය වඩාත් උණුසුම් වේ” යනුවෙන් ඔහු පැවසීය. මිලියන 1.4 ක ශක්තිමත් යුද හමුදාවක් ගොඩනැඟෙනු ඇතැයිද අගමැතිවරයා පැවසීය.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් ඇති වූ අර්බුදයෙන් ඉන්දියාව ගලවා ගැනීම තමන්ගේ ප්‍රමුඛතාවය බව මෝදි මහතා පැවසීය.

ඉදිරි දිනවලදී ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 50,000ක් ඉක්මවනු ඇතැයිද, සතියක් ඇතුළත ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn