මහමැතිවරණයට අදාල පෙත්සම් සලකා බැලීම යළි හෙට…

මහමැතිවරණයට අදාල පෙත්සම් සලකා බැලීම යළි හෙට…

ජුනි මස 20වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම හෙට (21) දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) පස්වරුවේ තීන්දු කර තිබේ.

ඒ මෙම පෙත්සම් අද තෙවන දිනටත් විභාග කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් හි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවවල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා ය.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය.‍

ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා ඇත.

එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන්වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බව සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි.

එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය, මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කර තිබේ.

ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බවත් එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත් ය.

Facebook
Twitter
LinkedIn