අලුත් පියාපත් සංවිධානය විසින් පවතින කොරෝනා තත්ත්වය හමුවේ ඔවුන් විසින් කරගෙන යනු ලබන මානුෂීය මෙහෙවර සහ රට පුරා උද්ගතව ඇති යම් යම් ගැටලු පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (09) දින බත්තරමුල්ල අවකාශය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිණ.
එහිදී අදහස් දැක්වූ එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා විසින් ප්‍රථමයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය මර්දනයෙහිලා පෙරමුණ ගෙන සටන් කරමින් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට රෝහල් ආරක්ෂක නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාටත් ආරක්ෂක අංශවල සියලුම දෙනාටත් ඔවුන්ගේ ගෞරවය සහ ස්තූතිය පළ කරමින් අදහස් ප්‍රකාශකර සිටියේ ය.
“අලුත් පියාපත් සංවිධානය පසුගිය මාර්තු මස 19 වන දින සිට මේ දක්වා දින 21ක කාලයක් පුරා අඛණ්ඩව කොරෝනා මර්දනයෙහිලා තම දායකත්වය උපරිමයෙන්ම දක්වමින් සිටිනවා. අපි පසුගිය 19 වනදා රාගම රෝහලේ අධ්‍යක්ෂකතුමා මුණගැසී කළ සාකච්ඡාවෙ ප්‍රතිඵලයක් ලෙස මේ සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය PPE එහෙම නැත්නම් ආරක්ෂිත ඇඳුම් මසා ලබා දීමේ මෙහෙයුමක් පටන් ගත්තා. මේ වනවිට අපි රටපුරා ප්‍රධාන රෝහල්, ප්‍රාදේශීය රෝහල්, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල සහ පොලිස් ස්ථාන 70කට අධික සංඛ්‍යාවකට මෙම ආරක්ෂිත ඇඳුම් ලබාදීලා තිබෙනවා. ඒ සඳහා අපිට මූල්‍යමය ශක්තියක් වුණු දේශීය විදේශීය සියලුම ආදරණීය මිනිසුන්ට අපි අපගේ ස්තූතිය පුදකර සිටිනවා.
ඒ වගේම අපි මේ කටයුත්තේ නියැලෙද්දී අපිට ලැබුණු දුරකතන ඇමතුම්, අපේ දිස්ත්‍රික් නියෝජිතයන්ට ලැබුණු තොරතුරු, රෝහල් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැනි පිරිස් ප්‍රකාශ කළ අදහස් අනුව ගැටලු කිහිපයක් හඳුනාගන්න පුළුවන් වුණා. මේ ගැටලු තනි සංවිධානයක් ලෙස විසඳීමට උත්සාහ කිරීම වෙනුවට ඒ පිළිබඳ සියලුදෙනා දැනුවත් කර සාධනීය මැදිහත්වීමක් කිරීම අවශ්‍යය යන්න මත තමයි මේ අදහස් දැක්වීම කරන්නෙ.
මේ අවස්ථාව කියන්නෙ එක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ සීමිත පිරිසකට විතරක් හෝ එකතු වෙලා වැඩ කරලා මේ වසංගතය පරදවන්න පුළුවන් අවස්ථාවක් නෙමේ. ඒ සඳහා සියලුම පිරිස් එකතු කර ගත්ත පොදු යාන්ත්රනයකට යායුතයි කියන තැන අපි ඉන්නවා. යම් යම් බලපෑම් හේතුවෙන් පොදු යාන්ත්රනයක් වැනි යමක් ගැන මාධ්‍ය මගින් පෙන්නුවට අපි කියා සිටින්නෙ දේශපාලන අරමුණු පසෙකලා සියලුම පිරිස් ඒකරාශී කරගත් සැබෑ පොදු යාන්ත්රනයක් සකස් කිරීම මේ වසංගතය පරාජයට අත්‍යවශ්‍ය බවයි.
ඒ වගේම කොරෝනා ආසාධිත පුද්ගලයන් ගැන ඇතැම් මාධ්‍ය මගින් ඇති කරන සහ සමාජය තුල ඇතිවී තිබෙන අනවශ්‍ය බිය. ඔවුන් ත්රස්තවාදීන් විධියට දැකීම නොව ඔවුනුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත්.
මේ අතරතුර ඇතැම් දේශපාලඥයන් සහ ඉතා සීමිත මාධ්‍ය ආයතන ප්‍රමානයක් ජාතිවාදය ඇතිවන අයුරින් කටයුතු කිරීමත් අපි පිළිකුල් සහගත ලෙස හෙලා දකිනවා.
නිරෝධායනය මධ්‍යස්ථාන නොව කලාපවල සිටින ඇතැම් ජනතාව ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඒවා මිලදී ගැනීමට මුදල් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් සඳහා විධිමත් යාන්ත්රනයක් සකස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ධීවර සහ ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලුවට මැදිහත්වී ඔවුන්ගේ අස්වනුවලට සාධාරණයක් ඉටු කරන ලෙසද අපි ඉල්ලා සිටිනවා.
මේ මොහොතේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවට සහන සැලසීමත් විශේෂයෙන්ම කුඩා ප්‍රමාණයෙන් පෞද්ගලික පංති කරපු ගුරුවරු, වෙබ් සහ මුද්‍රිත මාධ්‍යවල වැඩ කරන මාධ්‍යවේදීන් වැනි පිරිස් ගැනත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
මෙය කිසිසේත්ම ආණ්ඩුව විවේචනයට ලක් කිරීමක් නොව කොරෝනා මර්දනය සම්බන්ධ සාධනීය මැදිහත්වීමක්. ආණ්ඩුව විසින් සකස් කරන පොදු යාන්ත්‍රනය තුල ඕනෑම ආකාරයක සහයෝගයක් රජයට ලබා දීමට අපි ඇතුළු සිවිල් සංවිධාන රාශියක් කැමැත්තෙන් සිටිනවා කියන පණිවිඩයත් එක්ක අලුත් පියාපත් අපි තව දුරටත් අපේ මෙහෙවර දිගටම කරගෙන යන බවත් කියන්න කැමතියි.”
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජිකයන් වන මාධ්‍යවේදී චතුර දිසානායක මහතා සහ සමාජ ක්‍රියාකාරී නිර්ශාන් ඊබ්‍රහිම් මහතා ද සහභාගි විය.












