ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගත් අය ප්‍රශ්න කළේ නිශාන්ත සිල්වා ගැන…

ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගත් අය ප්‍රශ්න කළේ නිශාන්ත සිල්වා ගැන…

ශ‍්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය පැහැරගෙන ගොස් ප‍්‍රශ්න කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට විදෙස්ගත වීමට අදාළ ලිපිලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් බව තහවුරු වේ.

පසුගිය සඳුදා (25 දා) නාඳුනන කණ්ඩායමක් විසින් මෙම නිලධාරිණිය පැහැරගෙන ගොස් තර්ජනය කොට ඇත. තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීම සම්බන්ධ ලියකියැවිලි භාරව කටයුතු කරන්නේ මෙම නිලධාරිණියයි. ‘අල්-ජසීරා’, ‘නිව්යෝර්ක් ටයිම්ස්’ සහ ස්විට්සර්ලන්ත මාධ්‍ය කිහිපයක් මේ කරුණ තහවුරු කර තිබුණේ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවයට එල්ල වුණු බරපතළ ප‍්‍රහාරයක් වශයෙනි. නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයට යාමට වීසා ලබා දීම මෙම පැහැර ගැනීමට මූලික හේතුව බවද ඔවුන් විසින් සඳහන් කර තිබිණි. අදාළ නිලධාරිණියද සඳහන් කර තිබුණේ රජයේ නිලධාරියෙකු ලෙස නිශාන්ත සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කළ බවත් එය විනිවිදභාවයෙන් සිදු වූ බවත් ය.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත රජයේ විදේශ කටයුතු පිළිබද ෆෙඩරල් දෙපාර්තමේන්තුව පසුගිය බදාදා (27 දා) සඳහන් කර තිබුණේ, තම තානාපති නිලධාරිණිය පැහැරගෙන යාම අතිශය බරපතළ කරුණක් බවත්, වහාම රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ය.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා (28 දා) ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මුණගැසී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබිණි. ඉන් පසු බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ‘ට්විටර්’ පණිවිඩයක් නිකුත් කරමින්, දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවයි. එහෙත්, බදාදා (27 දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කර තිබුණේ, මෙවැනි පැහැර ගැනීමක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැති බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන භාරව කටයුතු කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ය. පසුගිය 24 වැනිදා ඔහු සිය පවුල සමග ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබිණි.

අසංක කරුණාරත්න – ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්