වීරවංසගේ අයතා වත්කම් ඉපයීමේ නඩුව ඔක්තෝබර් 2ට කල් යයි

වීරවංසගේ අයතා වත්කම් ඉපයීමේ නඩුව ඔක්තෝබර් 2ට කල් යයි

රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් වසර 6ක් තුළ රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් අයතා ලෙස උපයාගෙන ඇති බවට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ලකර ඇති ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහිව පවතින නඩුව ලබන ඔක්තෝබර් මස 2 වැනිදා කැඳවන බව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කර තිබේ.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා රුපියල් කෝටි 7.5කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.

2009 ජනවාරී මස 01 සිට 2014 දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම්වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස්වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර විමල් වීරවංස මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් පවසා සිටියේ නඩුවේ සාක්ෂි ලෙස නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක යන්ත්‍ර සහ ඒ සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට තමන්ට මේ දක්වා ප්‍රවේශයක් නොලැබී ඇති බවය.

එහිදී අල්ලස් කොමිසමේ නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට ඉඩ ලබාදිය හැකි වුවද ඊට සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවය.

එම කරුණු සළකා බැලූ විනිසුරුවරයා විත්තිකාර පාර්ශ්වයේ නීතීඥවරුන්ට දන්වා ඇත්තේ අදාල පරිගණක පද්ධතිය තුළ අන්තර් ගත දත්ත අතර වෙනසක් තිබේනම් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.

ඒ සම්බන්ධව සළකා බැලීමෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කරන බවද විනිසුරුවරයා දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn