සාධණීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයකට යනවා

සාධණීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයකට යනවා

අධ්‍යන සහ අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම, සුභසාදන ගැටළු, විශ්වවිද්‍යාල ප්‍රතීතන පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම ගණනාවක් මුල් කරගනිමින් බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවත් ඒ සම්බන්ධයෙන් සාධණීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් සැප්තැම්බර් මස 10 වන දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

සියලුම රජයේ සේවකයින්ගේ වැටුප 107%කින් වැඩිකරන බවට වත්මන් ආණ්ඩුව 2016 අයවැය ලේඛනය මගින් පොරන්දු වූ නමුත් එය තවමත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත ලැබී නොමැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අවධාරණය කළේ ය.

එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යන කාර්යමණ්ඩල විශේෂ සේවාවක් වශයෙන් සලකා කටයුතු කිරීම, අනධ්‍යන සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස්කර විභාග මත පමණක් බඳවා ගැනීම, අනධ්‍යන සේවකයන් බඳවා ගැනීමේදී දේශපාලන පත්වීම් ලබාදීම නතර කිරීම ආදී කරුණු ගණනාවක් සිය ඉල්ලීම අතර වන බවද ඒ මහතා සඳහන් කළේ ය.

විශේෂයෙන් අධ්‍යාපන පෞද්ගලීකරණය දෙසට ගමන් කරන උසස් අධ්‍යාපන තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත වහාම ක්‍රියාත්මකවන පරිදි අකුළා ගැනීමට ආණ්ඩුවට බල කිරීම සිය ඉල්ලීම අතර ප්‍රධාන තැනක් ගන්නා බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ ය.

Facebook
Twitter
LinkedIn