ජනාධිපති සහ පළාත් සභා මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙසට හෝ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් ලෙස ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානය ඔවුන් වෙත පිලියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇති බව එම ලිපිය මගින් අවධාරණය කරන පැෆ්රල් සංවිධානය මේ වනවිට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බවද අවධාරණය කරයි.
ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වනවිට අවසන් වීමට නියමිත නමුත් පළාත් සභා නව මැතිවරණ ක්‍රමයට අනුව පවත්වන්නට අවශ්‍ය සීමා නීර්ණය අවසන් කරන්නට තවමත් අපොහොසත් වී ඇති බවත් මේ වනවිට නැවත වරක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඇති නීතිමය ඉඩකඩ පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් උත්සහයක් ගන්නා බව වාර්තා වන බවත් සඳහන් කර පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගතයුතුව ඇති බවත් අවධාරණය කරයි.
එබැවින් මෙම මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙසට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් ලෙස ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානය සිය ලිපිය මගින් දන්වා ඇත.
ඒ හරහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරන ආකාරයට අවම වශයෙන් කෝටි 200ක මහජනතාවගේ මුදල් අනිසි ලෙස වැය වීම වලක්වා ගෙන එම මුදල ඉතිරි කරගත හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම එක් මැතිවරණයකින් අනතුරුව කඩිනමින් තවත් මැතිවරණයකට යාම ඒ එක් එක් මැතිවරණයේ තිබිය යුතු ස්වාධීන මහජන මතය ප්‍රකාශ කිරීමේ ඉඩ අහිමි වී කෘතිම දේශපාලන රැල්ලක් නිර්මාණය වීමේ හැකියාව ඇති අතර එය ප්රජාතන්ත්රවාදයට අවැසි යහපත් ලක්ෂණයක් නොවන බවද ඔවුන් අවධාරණය කරයි.
එසේම මාස 06ක් ඇතුලත මැතිවරණ දෙකක් පැවැත්විමට ක්රියාකලහොත් එම මාස 06ක කාලය තුළම ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලුම දේශපාලනඥයන් සිය මහජන කාර්යය පසෙක තබා සිය පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවත් එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ එදිනෙදා පැවැත්මටත් අහිතකර ලෙස බලපෑ හැකි බවත් පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
එබැවින් මෙම මැතිවරණ දෙක එකවිට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුව තුළ සකස් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.










