ජපුර උපකුලපති වහා ඉවත්කරනු – සමාජවාදී ශිෂ්‍ය සංගමය

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ මෙම වියරු සහ උන්මත්තක හැසිරීම සමස්ථ උසස් අධ්‍යාපන කී‍්‍රයාවලියටම බාධාවකි. වහාම ඔහු තනතුරෙන් ඉවත්කර සාමාන්‍යලෙස විශ්වවිද්‍යාල කටයුතු නැවත කරගෙන යාමට ඉඩ සලසන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. යනුවෙන් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදය සම්පූර්ණයෙන් පහත ඵලවේ.

ශිෂ්‍ය සංගම් තහනම් කරමින්, විරු සිසු ස්මාරක වනසමින් උන්මත්තකව හැසිරෙන ජපුර උපකුලපති වහා ඉවත්කරනු !

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ පිහිටුවා තිබූ විරු සිසු ස්මාරකය විශ්වවිද්‍යාල පරිපාලනයේ සහ රක්නා ලංකා ආරක්‍ෂක සේවාවේ අනුග‍්‍රහය සහිතව අද (05) උදෑසන අලාභහානි සිදුකර ඇත. නිදහස් අධ්‍යාපනයත්, මවුබිමේ නිදහසත් වෙනුවෙන් දිවිදුන් ශිෂ්‍ය වීරයින් ස්මරණය කරමින් 1988දී නිර්මානය කරන ලද මෙම ප‍්‍රතිමාව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමිය තුල ස්ථාපිත කරන ලද්දේ 1992 දීය.

2002 වසරේදී එවකට පැවති එජාප ආණ්ඩුව විසින් මෙම ස්මාරකය විනාශ කරන ලද අතර නැවත වසර දෙකකට පසු එය ඉදිකරන ලදී. අද උදෑසන විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගේ නියමයෙන් කඩා බිඳදමා ඇත්තේ ශිෂ්‍ය පරම්පරා ගණනාවක ආධ්‍යාත්මය බඳු එම ප‍්‍රතිමාවයි.

අපේ රටේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අවුලෙන් අවුලට පත්කරමින් එහි වර්තමාන උපකුලපතිවරයා කටයුතු කරමින් සිටී. ඔහු පසුගිය කාලයේ කිසිඳු හේතුවකින් තොරව මහා ශිෂ්‍ය සිංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කල අතර සිසු සිසුවියන් සිය ගණනකගේ පංති තහනම් කලේය.

අපවත් වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ ශිෂ්‍ය භාවය අත්හිටුවීම, සිසුවියන්ගේ කන්‍යභාවය පරීක්‍ෂා කිරීමට රෝහලට යැවීම ආදී උපකුලපතිවරයෙකුට කිසිසේත් නොගැලෙපන උන්මත්තක කටයුතු ඔහු විසින් සිදුකලේය. එතැනින් නොනැවතී ආණ්ඩුවේ මර්දනකාරී රක්නා ලංකා ආරක්‍ෂක සේවාවාව ද උපයෝගී කරගනිමින් විශ්වවිද්‍යාලයක පැවතිය යුතු අධ්‍යාපනික පරිසරය මුළුමනින්ම විනාශකර ත‍්‍රස්ත පාලනයක් ගෙනයාමට ඔහු කටයුතුකර ඇත. අද වන විට විශ්වවිද්‍යාලය තුල කලා,කී‍්‍රඩා,සෞන්දර්ය කටයුතුවලට ද බාධා පමුනුවා ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ මෙම වියරු සහ උන්මත්තක හැසිරීම සමස්ථ උසස් අධ්‍යාපන කී‍්‍රයාවලියටම බාධාවකි. වහාම ඔහු තනතුරෙන් ඉවත්කර සාමාන්‍යලෙස විශ්වවිද්‍යාල කටයුතු නැවත කරගෙන යාමට ඉඩ සලසන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

නලින්ද ජයතිස්ස

ජාතික සංවිධායක

සමාජවාදී ශිෂ්‍ය සංගමය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්