නව වසර උදාවන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ නැවුම් අපේක්ෂා රාශියක් සමඟ ය. දැඩි අධිෂ්ඨානය, කැපවීම සහ සුබ බලාපොරොත්තු ද ඒ සමඟම අපගේ ජීවිතවලට සමීප වෙයි. එබැවින් නව වසර උදාවේ මිහිර එකමුතුව සැමට එකසේ විඳ ගැනීමට හැකිවන බව අපි දනිමු යැයි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය වසර කිහිපයේ ජාතිය අභිමානවත්ව ගොඩනැඟුවා වූ ද, ශක්තිමත් කරන්නාවූ ද බොහෝ ජයග්රහණ රටට උදා කෙළෙමු. පසුගාමී බවින් තොරව කටයුතු කිරීමත් ලැබෙන සෑම අවස්ථාවක්ම ජාතිය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ප්රයෝජනයට ගැනීමත් ඒ ලැබූ ජයග්රහණයන්ට හේතු වූ බව ඉතා පැහැදිලි ය. ඉන් රට එක්සේසත් වූවා සේම රටේ සංවර්ධනයට නව වරාය, යෝධ වාරිමාර්ග, නව ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිවෙමින් ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක් ද බිහි වී ඇති බැව් ද එම සුබපැතුම් පණිවුඩයේ දැක්වෙයි.
අප අත්පත් කරගත් සියලු ජයග්රහණයන් සමඟ පියවර තැබිය යුත්තේ අලුත්වෙන ජාතියක් ලෙස ය. අලුතින් සිතා කටයුතු කරන දේශපාලන සම්ප්රදාය අප ජාතියේ ඒ ගමන් මඟ වේගවත් කරයි. ජාතීන් අතර සමඟිය පිළිබඳව ද අප ක්රියා කළ යුතු වන්නේ නව දැක්මක් සමඟ ය. නව මාවතකට යොමු කළ රටේ සංවර්ධනය තව තවත් වේගවත් වන්නේ අලුතින් සිතා වැඩ කිරීමෙන් බව මම විශ්වාස කරමි. ඒ සමඟම ආදරය, කරුණාව, දයාව සේම සහජීවනය ද වෙනුවෙන් මේ නව වසරේ වඩාත් කැපවීම ද අපගේ අධිෂ්ඨානය විය යුතුය.
එක්සත්ව එක්සිත්ව කටයුතු කොට අනාගතයට අලුත් රටක් ගොඩනඟන අවස්ථාවේ අධිෂ්ඨානශීලීව නැවුම් බලාපොරොත්තු සමඟින් පෙරට එන ලෙස මම ඔබට ආරාධනා කරමි යැයි ද ජනාධිපතිවරයා පවසයි.








