රජයේ රෝහලෙනුත් රෝගියාට බිලක්

රජයේ රෝහල් සේවයේ ඵලදායිතාව නැංවීම සඳහා යැයි පවසමින් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට රෝගය සුවවී ඉන් පිටව යනවිට තමන් ප්‍රතිකාර ලද කාලයට සහ ලබාදුන් ප්‍රතිකාර සඳහා වැය වූ මුදලට අදාලව බිල්පතක් ඉදිරිපත්කිරීමේ පියවරකට යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස්කර තිබේ.

එහි පළමු පියවර කළුබෝවිල, කුරුණෑගල සහ මහනුවර යන මහ රෝහල් සමග බොරැල්ල රි-වේ ආර්යා ළමා රෝහලෙහි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඉන් බොරැල්ල රි-වේ ආර්යා ළමා රෝහල අප්‍රේල් 01 වැනිදා සිට මෙම බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැරසේ.

පලමුව ළමා රෝහලේ හෘද රෝග ඒකකය සඳහා මෙම බිල්පත ඉදිරිපත්කිරීමේ කටයුත්ත සිදු කර පසුව එම රෝහලේ සියළුම අංශ සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත.

මේ වනවිටත් කුරුණෑගල රෝහලේ මෙම ක්‍රමය ක්‍රියාවට නංවමින් පවතී.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සභාපති වෛද්‍ය ජයන්ත බන්ඩාර මහතා පැවසූවේ නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ පියවරක් ලෙස මෙය ගත හැකි බවයි. අඩු ආදායම් ලාබීන් බහුතරයක් ඉන්නා රටේ එම අහින්සක ජනතාවට තම රෝගයකට නොමිලේ ප්‍රතිකාර ගැනීමට තිබූ නිදහස පවා අහිමිකරමින් ඇති තත්වයක් මින් ඉදිරියට මතුවන බවත් ලෝක බැංකුව සහ ආසියානු සංවරධන බැංකුව වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන ගනුදෙනුවේ ප්‍රතිඵල ලෙස මෙවැනි දේ සිදුවන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn