ලංකාපුත්‍ර බැංකුව ඈවර කරයි – ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් අනතුරේ

ලංකාපුත්‍ර බැංකුව ඈවර කරයි – ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් අනතුරේ

මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ මෙන්ම පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේද දේශපාලනඥයින්ගේ ග්‍රහණයට නතුවී කඩාවැටීමේ තත්වයට පත්ව බංකොලොත්වී තිබූ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව මීට දින දෙක තුනකට පෙර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) හා ඒකාබද්ධ කර තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ දේශපාලනඥයින් සිය දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා සිය ඡන්ද දායකයන් වැඩි වශයෙන් ලංකාපුත්‍ර බැංකුවේ සාමාජිකත්වය ලබාදී ඔවුන්ට 25,000සේ සිට ලක්ෂය දක්වා ක්ෂණිකව ණය ලබාදෙන ලදී. එමෙන්ම පාර්ලිමේන්තු, පලාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරුද ලක්ෂ, කෝටි ගණනින් ණය ලබාගන්නා ලදී.

වත්මන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තම ව්‍යාපාර කටයුතු සඳහා ලංකා පුත්‍ර බැංකුවෙන් විශාල ණය මුදලක් ලබාගෙන එය නොගෙවා සිටීමට එරෙහිව නඩුවක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙවැනි තත්වයක් තුළ මෙම බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කළ පසු එම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවද කඩා වැටීමේ තත්වයකට පත් වනු ඇතැයි RDB තැන්පත්කරුවන්ගේ සැකයට තුඩු දී ඇත.

එමෙන්ම ලංකා පුත්‍ර බැංකුවේ සේවය කළ සේවකයන්ට තම තනතුරු විවිධ මට්ටමේ ශ්‍රේණිවලින් පහළ වැටීමේ තත්වයකට මුහුණ දීමට සිදුව තිබීමද විශේෂත්වයකි.

ලංකා පුත්‍ර බැංකුවේ ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය 40%ක් පමණ වන බවත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 60%ක් පමණ වන බවත් පැවසෙන අතර මෙය ඒකාබද්ධ කිරීමෙන් පසු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය ගෙවීමේ ප්‍රතිශතය 50% දක්වා වනු ඇති බවටද වාර්තාවේ.

කෙසේ නමුත් මෙම බැංකු දෙක ඒකාබද්ද කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් ඇතුළු බැංකු දෙකේම සේවකයන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇත.

මෙලෙස කුඩා මූල්‍ය ආයතන එකට ඒකාබද්ධ කිරීමට උපදෙස් දෙමින් ලෝක බැංකුව විසින් මෙරටට කොන්දේසියක් පනවා ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn