40,000ක් විසඳන්න 37යි…

40,000ක් විසඳන්න 37යි…

මේ වනවිට මහාධිකරණ තුළ නඩු 40,299ක් ගොඩගැසී ඇති අතර එම නඩු විභාග කිරීම සඳහා රට පුරා පිහිටුවා ඇත්තේ මහාධිකරණ 37ක් බව මහාචාර්ය ප්‍රතිභා මහානාම පෙන්වා දී තිබේ.

ඒ අනුව, එම මහාධිකරණ තුළ අඛණ්ඩව දිනපතා නඩු විභාග කළද දින 1089ක් වැය කිරීමට සිදුවනු ඇත. එනම් වසර තුනක කාලයකි. මෙවැනි තත්වයන් සැලකිල්ලට ගනිමින් සියලුම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සඳහා රජයේ අවධානය යොමු කර තිබේ.

මෙම මහාධිකරණ 37 ස්ථාපිත වී තිබෙන්නේ වත්මන් රජයට බලයට පත්වන විට පැවති වාණිජ මහාධිකරණ තුන, පහක් දක්වා ඉහළ දැමීම සහ අපරාධ නඩු විභාග කිරීම සඳහා පැවති මහාධිකරණ අට, එකොළහ දක්වා කෙටි කාලයක් තුළ ඉහළ දැමීමෙන් පසුවය.

විශේෂයෙන්ම හිටපු ඇමතිවරුන් වන සනත් නිශාන්ත සිටි මන්දිරය ත්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කර තිබෙන අතර කෙහෙලිය රඹුක්වැල්ල සිටි මන්දිරය ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයක් පිහිටුවා තිබේ. එහි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට අදාළ නඩුව එක දිගට විභාග කෙරෙමින් පවතී. දිලුම් අමුණුගම සිට මන්දිරය සුළු හිමිකම් අධිකරණයක් පිහිටුවලා ඇත. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩුව විභාග කිරීම වෙනුවෙන්ම වෙනම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා තිබේ.‍

අල්ලස් නඩු විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ 06, 10, 11 ශාලා වෙන් කර ඇති අතර එය අධිකරණ තුනක් ලෙස දිනපතා නඩු විභාගයට ගනිමින් සිටී.

එමෙන්ම දෙයියන්දර, අඟුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව ආදී ප්‍රදේශවල පැවති ප්‍රාදේශීය මහේස්ත්‍රාත් අධිකරණ 08ක් සඳහා දිස්ත්‍රික් අධිකරණ බලතල ලබාදී තිබේ. ඒ අනුව එම අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ ලෙසත් දිස්ත්‍රික් අධිකරණ ලෙසත් අධිකරණ දෙක්ක ලෙස ක්‍රියාත්මක වේ.

නිලධාරි හිඟයෙන් වැසී තිබූ රත්නපුර, ගම්පහ, අනුරාධපුර, අම්පාර මහේස්ත්‍රාත් අධිකරණ නැවත සක්‍රීය කර තිබෙන අතර පුත්තලම, වැල්ලවාය, හැටන්, වැලිසර ප්‍රදේශවලට අලුතින් මහේස්ත්‍රාත් අධිකරණ පිහිටුවා තිබේ.

මේ අනුව රට පුරා අධිකරණවල ගොඩ ගැසී ඇති නැති ලක්ෂ 11ක් විසඳීමේ ක්‍රියාවලිය මෙම කෙටි කාලය තුළ වේගවත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn