ලක්‍ෂ 26ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමි රුපියල් බිලියන 2000කට වැඩි අරමුදල නැවත කොටස් වෙළඳපල තුළ ආයෝජනය සඳහා කටයුතු කරන බවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජීත් ක්‍රමාරස්වාමි මහතා විසින් පසුගියදා සිදු කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා වහාම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි සභාපති වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය ජනමාධ්‍ය ආයතන වෙතද යොමු කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
- 08. 31
ගරු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
අධිපති
ශ‍්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.
අධිපතිතුමනි,
EPF මුදල් කොටස් වෙළඳපලේ ආයෝජනය පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීම
ලක්‍ෂ 26ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමි රුපියල් බිලියන 2000කට වැඩි අරමුදල නැවත කොටස් වෙළඳපල තුළ ආයෝජනය සඳහා කටයුතු කරන බවට ඔබතුමන් විසින් කරන ලද ප‍්‍රකාශය පිළිබඳවයි.
ඉතිහාසය පුරාවට සේවක අර්ථසාධක අරමුදල විවිධ අවස්ථාවල කොල්ලකෑමට ලක්විය. එහෙත් කොටස් වෙළඳපල තුල ආයෝජනය මෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කිරීම නිසා මෙම අලාභයන් අරමුදලට සිදු විය. 2008 – 2012 වකවානුව තුල කොටස් වෙළඳපල තුල සිදුකරන ලද ආයෝජන නිසා රුපියල් කෝටි 2,800කට අධික මුදලක් අරමුදලට අහිමි විය.
එදා EPF අරමුදල කොල්ලකෑමට යොදාගත් යාන්ත‍්‍රණය වූයේ කොටස් වෙළඳපල තුල සිදුකරන ලද වංචා තුලින් අරමුදල කොල්ලකෑමය. අද කොටස් වෙළඳපල ආයෝජන අඩු වී ඇති නිසා ප‍්‍රාග්ධන වෙළඳපල හොම්බෙන් ගොස් ඇත. ඔබතුමා ද නැවත සූදානම් වන්නේ සේවක අරමුදල් යොදවා එක ඇලෝසියස් කෙනෙකු වෙනුවට ඇලෝසියස්ලා දහදෙනෙකු බිහි කිරීමටය. එදා රාජපක්‍ෂ පවුල කළ දේ අද රනිල් – මෛතී‍්‍ර හවුල විසින් ද සිදු කිරීමට යන්නේ එකම දේය. එසේ අවදානමේ යෙදවීමට උත්සාය කරන්නේ සේවක අරමුදල්ය.
ඉතිහාසය තුල සිදු වූ කිසිදු වංචාවකට ඳඩුවම් ලබාදීමක් හෝ අහිමි වූ මුදල් අයකර ගැනීමක් සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව කටයුතු කර නැත. මෙම වංචා සිදුකළ චුදිතයින් තවමත් EPF හි වගකිවයුතු තනතුරු දරන අතර EPF ආයෝජන උපදේශන කමිටුව තුලද සිටී. සියල්ල විසින් සිදුකරන ලද අලාභයන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 26 ලක්‍ෂයක් වන අරමුදලේ සාමාජිකයින්ටය.
මෙම තත්වය තුල ඔබතුමාගේ තීරණය සමග නැවත කොටස් වෙළඳපල EPF අරමුදල් ගිලගැනීමට සූදානම් වෙමින් සිටී. මෙම තත්වය තුල අපගේ සාමාජිකයින්ගේ අරමුදල් වල සුරක්‍ෂිතාව පිළිබඳව බරපතල අවදානමක් පවතින බැවින් එම ආයේජන ආරම්භ කිරීමට පෙර අප සංගමය වෙත කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,
වසන්ත සමරසිංහ
සභාපති










