උසස්පෙළ ප‍්‍රතිඵල පමාව ගැන ජවිපෙ මන්තී‍්‍ර අනුර කුමාර ප‍්‍රශ්ණකරයි

අපොස උසස්පෙළ ප‍්‍රතිඵල ප‍්‍රමාදය ප‍්‍රශ්නයක් වී ඇතැයි ද මෙසේ ප‍්‍රමාද වී ඇත්තේ ඇයි පැරණි සහ නව නිර්දේශ සම්බන්ධයෙන් දක්වන විශේෂ ක‍්‍රමවේදය කුමක්දැයි ජවිපෙ පාර්ලිමේන්ත- මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ලිඛිත ප‍්‍රශ්න කිරීමක් කෙළේය. ඔහු කථානායක වෙත ඉදිරිපත් කළ ලිඛිත ප‍්‍රශ්නය මෙසේය

ගරු කථානායකතුමනි,

පසුගිය අගොස්තු මාසයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් නොවීම නිසා විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ හා ඔවුන්ගේ දෙමව්පියෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. විභාගයෙන් අනතුරුව මාස 04කට ආසන්න කාලයක් ගතවී ඇතත් අපේක්‍ෂිත සිසු සිසුවියන්ට ප‍්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ. සාමාන්‍යයෙන් පාසල් අවසාන වාර නිවාඩුවට පෙර මෙම විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමේ සම්ප‍්‍රදායක් පැවතිය ද මෙවර එය අනවශ්‍ය කාලයක් ප‍්‍රමාද වී ඇත.

උසස් පෙළ විභාගය පැරණි හා නව විෂය නිර්දේශ යටතේ විභාග දෙකක් ලෙස පවත්වන ලද බැවින් මෙම ප‍්‍රමාදය සිදුවී ඇති බවට වාර්තා පළ වුවද එය සත්‍ය තත්වය විය නොහැක. මන්ද විභාග දෙකක් යටතේ ප‍්‍රතිඵල නිකුත් කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර මෙම තත්වය පූර්වයෙන් දැක ඊට අදාල පියවර කල් ඇතුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත යුතුව තිබුණු බැවිනි. අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව තමන්ගේ ප‍්‍රමාදයට කවර හේතු ඉදිරිපත් කළ ද මෙම ප‍්‍රතිඵල ප‍්‍රමාදය හේතුවෙන් අදාල පාර්ශවයන් මුහුණ දෙන අපහසුතාවයන්ට පිළිතුරක් නොවනු ඇත.

ප‍්‍රතිඵල ප‍්‍රමාදය හේතුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය වැනි ජීවිතයේ ප‍්‍රධාන කඩඉමක් සඳහා නැවත වරක් සූදානම් විය යුතු සිසුන්ට ඒ සඳහා ලැබෙන කාලය සීමා වෙමින් පවතී. එසේම විදේශ සරසවි සඳහා ඇතුළත් වීමට අපේක්‍ෂා කරන සිසුන්ට ඒ සඳහා අයදුම් කළ නොහැකි තත්වයක් උදා වෙමින් තිබේ. මෙම කරුණු අරභයා වගකීම් විරහිත හැසිරීමක් ප‍්‍රදර්ශනය කිරීමට අධ්‍යාපන බලධාරීන්ට නොහැකි බව මෙම ගරු සභාවේ මහජන නියෝජිතයන් ලෙස අපගේ විශ්වාසයයි.

එබැවින් මෙම ගැටලූවට කඩිනම් විසදුමක් ලබාදිය යුතු බවට මෙම ගරු සභාවේ අවධානය යොමු කර සිටින අතර ඒ පිළිබඳ ගරු විෂයභාර අමාත්‍යතුමාගෙන් පහත සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු අපේක්‍ෂා කරමි.

01. 2011 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන්නේ කවදාද?

02. ප‍්‍රතිඵල නිකුත් කිරීමට ප‍්‍රමාද වී ඇත්තේ කුමන කරුණක් නිසාද?

03. නව හා පැරණි විෂය නිර්දේශ යටතේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී අනුගමනය කිරීමට යන විශේෂ ක‍්‍රමවේදය කුමක්ද?

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්