
අනුරුද්ධ රත්වත්තේ හිටපු ඇමැතිතුමාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා පත්වීමට අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා තමාට ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මේ පිලිබදව ‘ දිවයින’ පුවත්පතට පවසා ඇති ඇමැතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා තමා පත්කරන ලෙස ඉල්ලා පක්‌ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් සහ ජනතාවගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන බව ද කියා සිටියි.
” තෙන්නකෝන් පවුලයි ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයයි කියන්නේ දෙකක් නොව එකක්. ඒ තරමටම අපි පක්‌ෂයත් එක්‌ක බැඳිලයි ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ගොඩ නගන්න අපේ තාත්තා සෑහෙන්න දුක් වින්දා. තෙන්නකෝන්ලා කවදාවත් පක්‌ෂය පවා දුන්නේ නැහැ ඒවගේම පක්‌ෂය දාලා ගියෙත් නැහැ. හැමදාම පක්‌ෂයේ මැයි රැලියට මම දඹුල්ලෙන් පන්දාහකට වැඩි පිරිසක් කොළඹට ගෙනවා. ජනාධිපතිතුමා දන්නවා මම පක්‌ෂය වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙනවද කියලා. එමනිසා පක්‌ෂය මට ජාතික සංවිධායක ධුරය ලබාදුන්නොත් මම භාර ගන්නවා යෑයි” ද ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
කෙසේවුවද ලබන 20 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ විධායක සභාවේදී ජාතික සංවිධායක ධුරය සඳහා පුද්ගලයකු නම් කිරීමට නියමිතය.









