(දෙවන සංස්කරණය) ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කිරීමේ නීතියට එරෙහිව කොළඹ මැනිං වෙළඳපළේ වෙළදුන් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරතව සිටින අතර අද දිනයේ මැනිං වෙළඳපළේ වෙළඳාම් කටයුතු ද සිදු නොකරන බව එහි ප්‍රධාන සංවිධායක එච්.එල්. චන්දනරත්න මහතා පවසයි.
උඩරට ප්‍රදේශ ඇතුළුව පිට පළාත්වලින් අද (13 දා) කොළඹ මැනින් වෙළෙඳ පොළට සැපයෙන එළවළු ඇනවුම් සියල්ල අත්හිටුවීමට මැනින් වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
තොග වශයෙන් කොළඹට එළවළු ගෙන්වනු ලබන සියලුම තොග වෙළෙඳුන්ගේ සාමූහික තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබෙන අතර කොළඹ එළවළු සපයන සියලුම ගොවීනට ඊයේ (12 දා) දහවල් මේ බව දන්වා යෑවීමට පියවර ගත් බව මැනින් වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මැනින් වෙළෙඳ සංගමයේ මෙම තීරණයත් සමග අද (13 දා) කොළඹ තරුපහේ හෝටල්, වරාය, පෞද්ගලික ආයතන, බන්ධනාගාරය, දෙහිවල සත්තුවත්ත ඇතුළු ස්‌ථාන රැසකට කෙරෙන දෛනික එළවළු සැපයුම අඩාල වීමේ අවදානමක්‌ද මතුව ඇත.
එළවළු ප්‍රවාහනයේදී අනිවාර්ය කර තිබෙන නව ඇසුරුම් ක්‍රමය ප්‍රායෝගික නොවීම හමුවේ මතුවී තිබෙන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවද ඉහත ප්‍රකාශකයා සඳහන් කළේය.
ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමත් සමග කොළඹ මැනිං වෙළෙඳ පොළ ඊයේ ද පාළුවට ගොස් තිබු අතර වෙන දා ලොරි 100- 150 එහි එන නමුත් ඊයේ ලොරි 15කට සීමාවී බිණි.
එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීමේදී ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්ය කිරීමත් සමග ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීම බොහෝ සෙයින් අඩුවී තිබෙන බව වාර්තාවේ.
මේ අතර ඇසුරුම් නීතිය කඩ කළ තවත් එළවළු සහ පළතුරු ලොරි 4ක් අද (13) අලූයම රත්නපුරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරේදා (11) සිට මේ දක්වා කාලය තුළ මෙලෙස ඇසුරුම් නීතිය කඩ කළ ලොරි 43ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.









