විදේශගත ශ්‍රී ලාකංකික ශ්‍රමිකයින් හට අයවැයෙන් සහන සලසන ලෙස තම පක්ෂය විසින් රජයට දැඩි බලපෑම් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා සිදුකළ කටාර් සංචාරය අතරතුරදී එහි වෙසෙන ශ්‍රී ලාංකික කම්කරුවන් හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසූවේ “මමත් අපේ පක්ෂයේ කටාර් කමිටුවේ සංවිධායක අනුර හෙට්ටිගොඩ සහෝදරයාත්, රත්නසිරි සහෝදරයාත් ඇතුළු සහෝදරවරු පිරිසක් කටාර් රාජ්‍යයේ සේවය කරන ලාංකික කම්කරුවන් පිරිසක් කර්මාන්ත පුරවලදී හමුවුනා. ඒ වගේම 38 පාර 30 පාර සමාගම්වල සේවය කරන බොහෝ කම්කරුවන් ඔවුන්ගේ නවාතැන්ගෙන සිටින නවාතැන් ස්ථානවලදීම හමුවී ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළා.
එම සාකච්ඡා ගණනාවෙදීම මතුවූ කරුණු අනුව ප්‍රධාන වශයෙන්ම ලංකාවෙන් කටාර් රාජ්‍යයට සේවය සඳහා යොමුකරන සේවකයින්ට ඉතාම අඩුපඩි ගෙවන බව අනාවරණය වුනා. ඒ නිසා අවම වශයෙන් ගෙවිය යුතු වැටුප නිශ්චිත වශයෙන් සහතික කිරීම සඳහා යම් බලපෑමක් රජයට කරන්න කියන ඉල්ලීම ඔවුන් අපට ඉදිරිපත්කළා. විශේෂයෙන්ම අවම වැටුප රියාල් 1,000ක්වත් ලාංකීය නොපුහුණු පළමුවරට සේවයට යන කම්කරුවෙකුට ගෙවිය යුතුයි කියන ඉල්ලීම ඔවුන් ඉදිරිපත්කළා.
දැනට තියෙන තත්වය අනුව රියාල් 1,000ක් 1,500ක් ගෙවන බවට පොරොන්දුවෙලා නමුත් අවසානයේ රියාල් 400ට වැනි සුළු වැටුප්වලට නොපුහුණු කම්කරුවන් සේවයේ යොදවනවා. විශේෂයෙන් ලංකාවේදී විදේශසේවා නියුක්ති කාර්යාංශය සමග අත්සන් කරන ගිවිසුමත් වෙනස් කරලා රැකියාවට ආවට පස්සේ වෙනත් ගිවිසුම් අයිතිකරුවන් සමග බලහත්කාරයෙන් අත්සන් කරන තත්වයක් තිබෙනවා. ඒ තත්වය වළක්වන්න කටයුතු කරන ලෙස එම කම්කරුවන් ඉල්ලීමක් කළා.
ඒ වගේම ඔවුන්ගේ නවාතැන්ගෙන සිටින නේවාසික ස්ථාන පරීක්ෂාවට කිසිඳු අවස්ථාවක තානාපති නිලධාරීන් නොපැමිණෙන බව දැනුම් දුන්නා. ඒ නිසා තානාපති නිලධාරීන්ව එම ස්ථාන පරීක්ෂාකර අයිතිකරුවන් සමග ගිවිසුම් අත්සන් කරවීමට යොමුකරවන්න කියන ඉල්ලීම ඔවුන් කළා. එම ස්ථානවල තිබෙන අපිරිසිදු තත්වය. ජීවත්වෙන්න බැරි තත්වය, සමහර කන්ටේනර් තට්ටුවල 20දෙනා පමණ ගාල්කරලා තියෙන තත්වය අපි නිරීක්ෂණය කළා. ඔවුන් සමග ඇසුරුකරද්දි ඒක දැනුනා. හුස්මගන්නවත් බැරි මට්ටමේ වාතාශ්‍රයක් නැති තත්වයක්.
ඉතා තද අව්වේ ඔවුන් රැකියාව කරන්නේ. ඒක නිසා ලෙඩරෝග බෝවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඉදිරි අයවැය විවාදයේදී විශේෂයෙන්ම,
01. ලාංකික නොපුහුණු පළමුවරට සේවයට යන ශ්‍රමිකයන්ගේ අවම වැටුප රියාල් 1,000ක් හෝ නොකර මැදපෙරදිග රටවලට ශ්‍රමිකයින් යැවීම නතර කරන ලෙස ඉල්ලීම.
02. ඔවුන්ගේ ස්ථාන පරීක්ෂා කිරීමට තානාපති නිලධාරීන් යොමුකිරීමට ඉල්ලීම සහ එම ස්ථාන පරීක්ෂාකර අයිතිකරුවන් සමග ගිවිසුම් අත්සන් කරවීමට යොමුකරවීම.
03. ඒ වගේම තානාපති කාර්යාලයෙන් විවිධ අසාධාරණ කොන්දේසි මත අයකරන ගාස්තු නතර කිරීමට යෝජනා කිරීමේ ඉල්ලීම.
04. ගිවිසුම් උල්ලංඝණය කරමින් වෙනත් ගිවිසුම් අයිතිකරුවන් සමග බලහත්කාරයෙන් අත්සන් කරන තත්වය වෙනස් කිරීමට වහාම පියවර ගැනීමේ ඉල්ලීම.
වැනි ඔවුන්ගේ යෝජනා අපි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
නොගැළපෙන ගාස්තු, ඉතා ඉහළ ගාස්තු සීල් එකක් ගැසීමට පවා අයකරන බව කම්කරුවන් කරුණු ඉදිරිපත් කළා. ඔවුන් මුහුණ දෙන ගැටලු ගණනාවක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඔවුන් සේවය අවුරුදු 13, 20, සේවය කළත් ලංකාවේ තියෙන ජීවන වියදම අනුව ඉතිරි කරන්න බැරිකම. කිසිම මුදලක් ඉතිරි කරන්න බැරුව නැවත මේ රටේම ජීවත්වෙන්න සිද්ධවෙලා තිබීම. පවුල්වලින් ඈත්වෙලා බොහෝ කාලයක් ජීවත්වෙන්න සිදුවෙලා තිබීම. එවැනි කරුණු ඔවුන් මතුකළා.
ලංකාව තුළදී අපි ගෙනයන අරගලය, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්වෙලා කරන සටන්, වෘත්තීය අරගල ඔවුන් ඉතා අගය කළා. කටාර් රාජ්‍යයට ඇවිල්ලා කම්කරුවන් මුණගැහෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔවුන්ගේ ස්ථානවලට පැමිණි පළමුවෙනි මොහොත හැටියට ඔවුන් මෙය සඳහන් කළා.
ඒ නිසා විශේෂයෙන්ම ඒ රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් මුහුණදෙන ගැටලු සාකච්ඡා කළ අතර ලබන අය වැය විවාදයේදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත්කරලා විදේශගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා වෙනුවෙන් කටාර් රාජ්‍යයේ වගේම අනිකුත් රටවලත් වැඩකරන සියලු දෙනා වෙනුවෙන් සහන ලබාදෙන ලෙස ඉදිරි අයවැයේදී ආණ්ඩුවට බලකරන බව අප එහිදී ඔවුන්ට ප්‍රකාශ කලා.
















