රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැඩ වර්ජනයක් කිරීමට අදහස් කරගෙන සිටින බව පුවත්පත්වලින් දුටිමි. වැටුප් විෂමතා, දුරකථන පහසුකම්, අවදානම් දීමනා ආදී වෛද්‍ය සේවාවේ වෘත්තීය ගැටලු ඉල්ලීම් ලෙස දක්වා ඇත. මේවා සාධාරණ ඉල්ලීම් බව සත්‍යයකි.
විශේෂඥ වෛද්‍යවරයාගේ මූලික වේතනය (මසකට) රුපියල් හතළිස්දහසකි. පිට පිටම පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ රියැදුරාගේ මාසික වැටුප රුපියල් හැත්තෑදහස ඉක්මවා යයි. එලෙසම රටේ ප්‍රථම පුරවැසියාගේ දෛනික දීමනාව රුපියල් කෝටි ගණනකි. මෙහි වැටුප් විෂමතාවයක් ඇත. ටියුෂන් මාස්ටර් අධ්‍යාපන ඇමැතිගේ ගණන් ක්‍රමය අනුව නම් වෛද්‍යවරුන්ට ලැබෙන වැටුප සෑහේ. මෙවැනි මෝඩ තකතීරුවන් සිටින විට රජවාසලේ රජුන්ගේ මනදොල පුරවා රජුන් මුලාකරන කේවට්ටයන්ගෙන් ගහන රටක කිසියම් කෙනකුට සාධාරණයක් සිදුවිය හැකිද?
සාධාරණයක් බලාපොරොත්තු – වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නාක් වැනි නිෂ්ඵල ක්‍රියාවකි.
අද කෑම කා අත හෝදන විට බඩ පපුව පත්තුවන්නේ හෙට කොහොමද කන්නේ කියා සිහිවෙන විටය. බඩු මිල ගිනිගණන්ය.
හැමදේම ඉහළ නගී. ආර්ථික පසුබෑම හා කොල්ලකරුවන්ගේ මහා මාරුතයෙන් අඳින වස්ත්‍රය පවා උඩුගුවනට පාවීයයි.
රටේ ජනතාව මුහුණදෙන මෙම පොදු ආර්ථික ගැටලුව වෛද්‍යවරයාටද එකසේ අදාළය.
නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට ලකලෑස්ති වෙන්නේ වෛද්‍ය වෘත්තිකයා හා රෝගියා මුහුණදෙන අපහසුතාවලින් මිදීමට ඉල්ලීම් දිනාගැනීමට දැයි සැක සහිතය. එසේ සැක පහළ වන්නේ GMOA හි අතීත කැරැට්ටුව ඉතා හොඳින් මා දන්නා බැවිනි.
මෑතකදී GMOA හි අනුදැනුම ඇතිව සිදුවූ වෛද්‍ය වැඩවර්ජන දෙකක් සිහිපත් කළයුතුය. දේශපාලුවකුගෙන් ලැබුණ තර්ජනයකට කරාපිටිය රෝහලේ වෛද්‍යවරු වැඩ වැරූහ. ඉන් ලැබුණු සහනයක් ඇත්ද? ඈත එපිට සිට උදේ පාන්දර කුකුළා මල්ලේ දමාගෙන රෝහලට එන දිළිඳු රෝගියාට වුණ යහපත කුමක්ද?
අනුරාධපුර රෝහලේ වර්ජනය හාත්පසින්ම වෙනස් කාරණාවකි. එයට මුල් වූයේ නිල නිවාසයේ විදුලිය කපාහැරීමය. උදේ රැයින් රෝගියා නැගිට හුළුඅතු දල්වා රෝහලට එන්නේ රෝග සුවකරගැනීමටය. නමුත් වෙදාගේ ගෙදර ලයිට් කැපූ පළියට පළිගන්නේ අසරණ රෝගීන්ගෙනි.
මෙවැනි අදූරදර්ශී වෘත්තීය ක්‍රියාමාර්ග තෝරන වෛද්‍යවරුන් සහ පාලකයන් සේවයෙන් ඉවත් කළයුතුව ඇත. GMOA මීට දෙන අනුබලය ඉතා අශිෂ්ටය.
පසුගිය සතියේ පුවත්පතක පළවූවා අක්ෂි කාචවලින් කොමිස් ගැහිල්ලක් ගැන. ඊට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන බවද එහි සඳහන් විය. අක්ෂි වෛද්‍යවරයා කාච ගැනීමට තුන්ඩු දෙන්නේ තමන්ට ලාභ ලැබෙන ෆාමසියකටය. ඉන් වෛද්‍යවරයා රෝගියා ෆාමසියට විකුණා මුදල් උපයයි. මෙවැනි නීච වෛද්‍යවරුන් සිටින බව GMOA දන්නවාද?
හෙට්ටිපොල රෝහලේ වෛද්‍යවරයා රසායනාගාරයක් පවත්වාගෙන යන බව GMOA දන්නේද? අපට පුද්ගලික රසායනාගාර අවශ්‍ය ඇයි. MLT වරුන් මදි නිසාද? එතනත් වෙන්නේ රුධිර සාම්පල පරීක්ෂාකර ගැනීමට බලකර ඒ මුදල් වෛද්‍යවරයාට ලබා ගැනීමය. මොවුන් රෝගියාගේ රුධිරය උරාබොන කූඩැල්ලන්ය. එහෙමත් නැතිනම් ඩ්රැකියුලාවරුන්ය. මෙවැන්නන් යහමින් ජීවිකාව කරගෙන යාම ගැන මම පුදුමවෙමි. මීට GMOA එක ගත් පිළියම කුමක්ද? පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කීවේ කුමක්ද? ඔහුද යංතං ජාම බේරාගෙන වරද නොපෙන්වා දුන්නේ කොන්ද පණනැති නිසාද?
රජයට අනුබද්ධ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමක කොමිෂන් සභාව විසින් පුද්ගලික රසායනාගාර 70 කට අධික සංඛ්‍යාවකට ලියාපදිංචිය දී තිබේ. මේ රසායනාගාරවල වැඩකරන රසායනාගාර කාර්මික විද්‍යාඥයාට (MLT) සුදුසුකම් නැති බව පැවැසේ. හැමදේටම හොට දමන GMOA එක මේ සම්බන්ධව ප්‍රශ්න කළේද? නැත. ඒවා ඔවුනට අදාළ නැත. මෙම අතීත කැරැට්ටුව නිසාම GMOA හි වර්ජන උත්සාහය සද්භාවයෙන් කෙරෙන්නක්ද යන්න සොයාබැලිය යුතුය.
කෙසේ වෙතත් අපට ආඩම්බර වියහැකි අතලොස්සක් වූ වෛද්‍යවරුන් සිටීම රෝගීන්ගේ වාසනාවකි. වෙලාව අවේලාව නොබලා රාජකාරියේ යෙදෙන තමන්ගේ මහන්සියෙන් රෝගී පත්‍රිකා සපයාදෙන ඈත ගම්වල ගොස් සායන පවත්වන (දීමනා නැතිව) වෛද්‍ය දෙවිවරුන් අප අතර නැත්තේ නොවේ. ඒ සත්ගුණවත් වෛද්‍යවරුන්ට අපගේ උපරිම ප්‍රණාමය හිමිවේ.
පසුගිය දිනෙක GMOA හි වෘත්තීය සමිති නායක වෛද්‍ය පාදෙණිය ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවිය. එහිදී ඔහු ඉල්ලා සිටියේ කුමක්ද? එදා ඔහු ඉල්ලා සිටියේ රජයේ රෝහලේත් වැඩකරන ගමන් පුද්ගලික රෝහලේත් පැය 24ම වැඩ කිරීමට අවසරයයි. ඔහු දැන් කියන මෙම ඉල්ලීම් එකක්වත් එදා මතකයේ තිබුණේ නැත.
මේ තාක්කල් GMOA රෝගීන්ගේ සුව සෙත පතා යම් මාර්ගයක් ගත්තේද? GMOA යැපෙන්නේ රෝගී මහජනතාවගේ මුදලිනි. එහෙත් ඔවුන් කරන්නේ ඒ රෝගීවූ ජනතාවට යහපතක්ද? පසුගියදා වෛද්‍ය නලින් සහ නවීන් ද සොයිසා දෙපළගේ විවරණයක් GMOA Planning Tu Action නමැති කොළමයෙන් කියවීමි. එහි දක්වා ඇති පරිදි සෑම අංශයකම වැටුප් විෂමතා ඇත. එයට දශක ගණනාවකට වැඩි කාලයක් ගතවී ඇත. වැටුප් විෂමතාවය කොහොම වෙතත් හෙට උදේ වනවිට බොන වතුර ටිකටත් බදු අයකර බොන බෙහෙත් වලටත් තවත් බද්දක් අයකිරීමට තීරණය වුණොත් එය අරුමයක් නොවේ.
කොහොම නමුත් එම පත්‍රිකාවේ දෙවැනි ජේදය හාස්‍ය උපදවන වාක්‍ය ඛණ්ඩයකි.
“We being doctors, still provide ettiuent and quality secuce to the needy public, despite focus many inconveniences. We do not like to go on srtikes an inncent people have to suffer. But not two trade union action the only way to botaining the attenting & the Gov……..”
‘‘අපි දොස්තරලා. සෑම දෙයක්ම රෝගීන් වෙනුවෙන් ඉතා කාර්යක්ෂමව නොපිරිහෙලා ඉටුකරනවා. මොනතරම් අපහසු කරදර තිබුණත්, අපි කැමැති නැහැ වැඩවර්ජන කරල අසරණ ලෙඩුන් අමාරුවේ දාන්න. නමුත් රජයේ අවධානය යොමු කිරීමට වර්ජනය මිසක් තව දෙයක් නැත්තේය’’
මේ කතාව කියන්නේ මේ අය කලිසම ඇඳගෙනද කියා මට අසන්නට සිදුවේ. මේ දෙබිඩි කතාව දිව දෙකේ කබරගොයින් හා සමානය. පසුගියදා පාදෙනිය නමැති වෘත්තීය සමිති නායකයා ජනාධිපති හමුවන්නට ගියේ පනින රිලවුන්ට ඉනිමං සොයාගෙනය. තමන්ගේ අතමිට සරුකර ගැනීමට, වරදාන, වරප්‍රසාද ලබාගැනීමට ජනාධිපති හමුවීමට නම් වේලාවක් වෙන්කරගත හැකිය.
මට GMOA බොහෝමයක් සාමාජිකයන්ගේ වගතුග කියන්න මේ පත්තර පිටුව ප්‍රමාණවත් නැත. ඒ ටික හරියට Tip to the iceburg වාගේය. විශාල අයිස් කුට්ටිය උඩට මතුව පේන පුංචි අයිස් කෑල්ල වාගේය.
සරසවි ඇඳුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථකත්වය GMOA වෛද්‍යවරුන්ට වහකදුරු වාගේ දැනී ඇත. හදිසියේ GMOA වර්ජනය කිරීමට තීරණය කළේ සරසවි ඇඳුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන රජයට හිස නැමීමට සිදුවී ඇති නිසාය. ඉදිරියේදී එම ඉල්ලීම් ඉටු කිරීමට රජය බැඳී සිටී. ඉල්ලීම් ඉටු නොවුණහොත් නැවතත් මහපාරට බසින බව ඇදුරෝ කියා සිටිති. ඇදුරන්ගේ එම ක්‍රියාමාර්ග මොටකිරීමටත් ඉල්ලීම් නොදී සිටීමට ආණ්ඩුවට සුදුසු වටපිටාවක් සාදාදීමටත් GMOA වැඩවර්ජනය තේරූ බව දුරදිග කල්පනා කිරීමේදී වටහාගත හැකිය.
ඇදුරන්ගේ අරගලයට සහාය පළකර සටන්පාඨ කාඩ්බෝඩ් ලෑල්ලක්වත් මොවුන් එසවූයේ නැත. සරසවි සටනට මහජනතාවගේ ආශිර්වාද නොමදව ලැබිණි. ඊට හේතුවූයේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම, ඒ සඳහා අදාළවන වැය පියවා ගැනීමත් එම සටන්පාඨ පෙරමුණේ තිබීමය. නමුත් වෛද්‍යවරුන් වර්ජනය කරන්නේ ඔවුන්ගේ බඩගෝස්තරය පුරවා ගැනීමටය. අසරණ රෝගියා මළත් ඔවුන්ට කම් නැත. එවැනි අසාධාරණ, දුෂ්ට චේතනාවෙන් කරන අරගල මහජනතාව විසින් පිළිකුල් කරනවා ඇත.
මේ තාක්කල් GMOA එක කරන ලද වැඩවර්ජනවලින් යහපතක් වුණිද? ඒවා කළේ තමන්ගේ මාන්නය, ලොකුකම සහ ආත්මාර්ථය උදෙසාය.
ඩෙංගු මර්දනය සඳහා ගෙනා බැක්ටීරියා ගැන, දේශපාලන බලයෙන් කොළඹ රැඳී සිටින අතිරික්ත වෛද්‍යවරුන් පිළිබඳව, ඖෂධවල ප්‍රමිතියේ බාලකම හා බොහෝ වෛද්‍යවරුන්ගේ පහත් පෙළේ රාජකාරී කටයුතු ආදී මෙකී නොකී දේ ගැන GMOA කතිකාවතක් කළාද? රෝගියා පිළිබඳව කතාකළ එක දවසක් මට දැකගත නොහැකි විය. මැරුණු මිනිසාද විකුණා කන වෛද්‍යවරුන් එමට ඇත.
පුද්ගලික සේවය හා රජයේ සේවය එකට අනාගෙන වැඩකරන වෛද්‍යවරුන් එමටය. ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ගැන සොයිසා මහතා නොදන්නවා නොවේ. පැයකට ලෙඩුන් 40ක් පමණ බැලීම ගිනස් වාර්තාවක තිබිය හැකි නැටුමකි. අයකරන ගාස්තු තැනින් තැනට, පැයෙන් පැයට සහ දිනෙන් දිනට වෙනස් වේ. හදිසියේ පැමිණියොත් රෝගී පරීක්ෂාවේ ගාස්තුව දෙගුණය. සැත්කම් සඳහා නියමිත ගාස්තුවක් ස්ථාපිත කර නැත. තමනට හිතුමතේ ඔවුන් රෝගී පරීක්ෂා ගාස්තු, ශල්‍යකර්ම සහ අනිකුත් විශ්ලේෂණ ගාස්තු අයකරති. කොටින්ම කියනවානම් හරියට මරිය කඩේ මාළු කඩේ වගේය.
දොස්තරට පුද්ගලික රෝගියා පේන්නේ නිධානයක් පහළවූ හැටියක්ය. වෛද්‍යවරුන් කරන්නේ අනවශ්‍ය රෝග පරීක්ෂා (ලේ, මුත්‍රා, අශූචි, CT Scan, MRI Scan) වලට රෝගියා භාජනය කිරීමයි.
බොහෝවිට රෝගියාටයන්නට සිදුවන්නේ වෛද්‍යවරයා කියන මධ්‍යස්ථානයකට යෑමටය. ඒ එම වෛද්‍යවරයාටද කොමිස් ලැබෙන නිසාය. මුදල් දී වෛද්‍යවරයා හමුවුවද රෝගියාගෙන් රෝගී තොරතුරු විමසන්නට වෛද්‍යවරයාට වෙලාවක් නැත. වෛද්‍යවරයා එතරම් කාර්යබහුලය. තම රෝගියා සියගණන් රුපියල් කොළ මිටිමොලවාගෙන සිටින විට වෛද්‍යවරයාට රෝගියාවත් මතක නැත! ඔවුන් වඳ ස්ත්‍රීයට ශුක්‍රානු නොමිලයේ සපයන්නේ ස්වාමි පුරුෂයා වඳ නිසාය. තවදුරටත් ඒ ගැන කියනවා නම් ගබ්සාවක් කිරීම නීත්‍යනුකූල නැතිනිසා ඊට රුපියල් ලක්ෂයක් ගෙවන බව GMOA දන්නවාද? තවත් වෛද්‍යවරුන්ගේ බිරින්දන් නොමේරූ ළදරු විශේෂඥයන්ය. ප්‍රසව විශේෂඥයන්ය. ගැබ්ගත් මව පරීක්ෂා කරන විට, බබා බිහිවන්ටත් කලින් කුස තුළ සිටින දරුවා තම බිරිඳගේ සායනයේ ලියාපදිංචි කරන බව GMOA දන්නවාද?
පසුගිය වසරේදී එක්තරා සුප්‍රසිද්ධ වෛද්‍ය අධ්‍යක්ෂකවරයකු සැත්කම් අත්වැසුම් සඳහා රුපියල් කෝටි ගණනක වංචාවක් කළේය. ඊට GMOA ගත් ක්‍රියා පටිපාටිය කුමක්ද?
Blacklist කෙරුණු සමාගමක කළු පැල්ලම් අයින් කොට ඊට සුදුපිරියම් කර දියවැඩියා පරීක්ෂණ කට්ටල ඉහළ දේශපාලකයකුගේ පුත්‍රයකුට භාරදුන් බව GMOA නොදන්නවා නොවේ. මෙවැනි අමන ක්‍රියා දැක දැක GMOA කොහොමද රෝගියා ගැන සානුකම්පිතව බලනවා යැයි ප්‍රකාශ කරන්නේ. බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය සහ රෝගී ප්රඥප්තිය ගැන GMOA එක වචනයක් කතා නොකරයි.
මෙවන් දූෂිත සමාජයක් සහ ආත්මාර්ථකාමී සංගම් තිබෙනතුරු මහජනතාව සදාකල් දුක්විඳිනු ඇත.
උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය









