ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා

ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා

“ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වී ඇති නිසයි ජනතාවට මේ දේශපාලනය එපාවෙලා, තිත්තවෙලා තියෙන්නේ. හෙරොයින් අලෙවි කරන ජාවාරමටත් වඩා මෙම දේශපාලනය ලාභයි. හෙරොයින් ජාවාරම ලාභ වුණත් භයානකයි. ඒත් දේශපාලනය ඊට වඩා ලාභයි. සමහරවිට වැඳ වැඳ දෙනවා හොරකම් කරන්න. ඒ නිසා දේශපාලනය කියන්නේ ගෞරවනීය ලාභ බිස්නස් එකක් බවට අද පරිවර්තනයවී තිබෙනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ ඉකුත් (09) පැවති ජන හමුවකදී පැවසීය.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග කරන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මෙම ජන හමුවේදී ඒ මහතා තවදුරටත් අදහස් දැක්වීය.

“ලංකාවෙි මිනිසුන්ට දේශපාලනය එපාවීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දේශපාලනය බිස්නස් එකක් වීමයි. මෑත කාලයේ සිදුවුණු බැඳුම්කරේ එක සිද්ධියක්.

අපේ රටේ කම්කරුවෝ පැය 24ම දුක්විඳිනවා ආදායමක් ලබාගන්න. ධීවරයෝ ජීවිත අවදානමක් අරගෙන මහ මුහුදේ රස්සාවට යන්නේ අදායමක් උපයා ගන්න.  ඒත් මේ බැඳුම්කරේදි එහෙම අවදානමක් නැහැ. පහසුවෙන් බෑණා රුපියල් කෝටි 1,200ක් උපයලා. එහෙම නැත්නම් ලොකු ගඩොල් පෝරණු පහක පෙනුම තියෙන මුදල් තොගයක් ලාභ ලබලා. මේකේ විපාක 2045 වෙනකම්ම ගෙවන්න වෙනවා.

නුවර පැත්තේ දේශපාලකයෙක් ඉන්නවා, එයා රැකියාව ආරම්භ කළේ රක්ෂණ නියෝජිතයෙක් විදියට මේ කුලියාපිටිය රක්ෂණ සංස්ථා ශාඛාවේ. 1990 දී එයාගේ වැටුප රුපියල් 1,200යි. මෙයා දේශපාලනයට එනවා. මහා ලොකු දේශප්‍රේමියා අද කින්සි පාරේ ගෙවල්, එංගලන්තේ ගෙවල්, එයාපෝට් එකේ කඩ, දුව ඉගෙනගන්නේ ඇමරිකාවේ කොහොමද දේශපාලනයේ ලාභය. මේ දේශපාලනය මිනිසුන්ට තිත්ත වෙන්නේ නැද්ද? එපා වෙන්නේ නැද්ද?

2015දී මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙනවා. මෙන්න මෙයා කියනවා අපි ජනාධිපති ධූරය අහෝසි කරනවා, මම මේකෙන් 2020දී බැහැලා ගෙදර යනවා. වසර 03ක් යද්දී මෙයාට දැනෙනවා දේශපාලනයේ රහ. ඒ නිසා 09වැනිදා මෙයා යනවා අධිකරණයට. ගිහින් අහනවා මට මේ ධූරයේ 2021 දක්වා ඉන්න පුළුවන්ද කියලා. බලය ගනිද්දී කිවුවේ 2020 ගෙදර යනවා කියලා. මෙන්න බොලේ භාගයක් ගෙවෙද්දී අහනවා මට තව අවුරුද්දක් ඉන්න පුළුවන්ද කියලා. මේක තමා දේශපාලනයට කෑදරකම.

වසර 05න් ගෙදර යන්න ආපු යහපාලන ජනාධිපතිත් දේශපාලන බිස්නස් එකට අහුවෙලා. ඔය තරම් යහපාලනේ නම් ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදී නම් ඉන්න පුළුවන් කාලේ අහන්න ඕනෙද. ඔය දේම තමා රාජපක්ෂත් කළේ. ඔය දේම තමා චන්ද්‍රිකත් කළේ. මේකේ වෙනසක් නැහැ සහෝදරවරුනි. මේ කට්ටියම එක වල්ලේ පොල්.

ඉස්සර අපි පොඩිකාලේ හොරෙක් ගැන චිත්‍රයක් අඳින්න කියපුවම අඳින්නේ කිනිසිස්සක් පච්චයක් ගහපු මිනිහෙක්. අද හොරෙක් කියපුවම ළමයි අඳින්නේ සාටකයක් දාගෙන ඉන්න ටයිකොට් දාගෙන ඉන්න පුද්ගලයෙක්ව. මේ තමා අද රටේ දේශපාලනය අනාගත පරපුරටත් දැනිලා තියන ආකාරය. රටේ දේශපාලනය තිත්ත වෙලා. එපා වෙලා තියෙද්දි මෙන්න තවත් පිරිසක් ඉන්නවා පරම්පරාවෙන් යූ.එන්.පී. පරම්පරාවෙන් ශ්‍රී ලංකා. ගමේ ජනතාව එහෙම වුනාට පක්ෂ නායකයෝ පරම්පරාවෙන් එහෙම වෙන්නේ නැහැ. එස්.බී, ජොනි, මංගල, ගාමිණි ලොකුගේ, කරූ ජයසූරිය කී පාරක් එහාට මෙහාට පැන්නද. ඒ වුනාට ගමේ මිනිස්සු පරම්පරාවෙන් පක්ෂවලට බෙදිලා ගහගන්නවා. ඒත් ජනතාවගේ ඡන්දෙන් පත්වෙන නායකයෝ එහාට මෙහාට පැන පැන දේශපාලන බිස්නස් එක කරනවා.

අපි මේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ බිස්නස් එක නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න. අපි ලෑස්තියි බිස්නස් එකක් වෙලා තියෙන මේ දේශපාලනය ජනතාවාදී එකක්, ජනතාවට වැඩ කරන දේශපාලනයක් දක්වා හරවන්න. ඒ නිසා 10 වැනිදා වෙන්නප්පුවේ බලයත් රටේ අනෙක් ගමේ බලයත් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් වේවි කියලා අපි විශ්වාස කරනවා.”

මේ අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ නායක සමන්ත කෝරළේආරච්චි, වෙන්නප්පුව ප්‍රාදේශීය සභා අපේක්ෂකවරුන් වන ඇන්ටන් කුමාර, ඩිවෝන් ලයන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්