TIN අංකය හෙට සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි…

TIN අංකය හෙට සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි…

හෙට (නොවැම්බර් 01) සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදු කිරීමේදී වලංගු TIN අංක සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර – යන අවස්ථාවන්වලදී අදාළ තැනැත්තා විසින් වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තමන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය ප්‍රකාරව තහවුරු කර ගන්නා ලෙසට නියම කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස නිශ්චිතව දක්වා ඇති යම් කාර්යයක නිරත වීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තකුම දැනට TIN අංකයක් ලබා ගෙන නොමැති නම්, එම අංකය වහාම ලබා ගන්නා ලෙසත්, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඉල්ලුම් කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්