බ්‍රසීලයේ ලූලා බලයට ගෙනා මහා මොළකරු හෙළිවේ !

බ්‍රසීලයේ ලූලා බලයට ගෙනා මහා මොළකරු හෙළිවේ !

දකුණු ඇමරිකාවේ බහුතර වාමාංශික ආණ්ඩු “ආරක්ෂාව හා පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මත බිඳ වැටෙද්දී ” ඒ හා සමාන තත්වයක් මත ජනාධිපතිවරණ පරාජයකට මුහුණ දී සිටි බ්‍රසීල ජනාධිපති ඉන් මුදවා ජයග්‍රහණය කිරීමට සමත් වූ අසාමාන්‍ය පුද්ගලයා පිලිබඳ බටහිර මාධ්‍ය මේ වන විට කතා කරමින් සිටි. ඔහු Camilo Santana ලෙස හෙළි වී ඇත. ජනාධිපතිවරණ දෙවන වටයේ ලූලා ද සිල්වා ගේ ප්‍රචාරක කළමනාකරු වූ Camilo Santana මේ වන විට “නැවත පැමිණීමේ රජු” හෙවත් (king of turnaround / U-turn) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව වාර්තා වේ. එසේම මේ වන විට ලොව පුරා වාමාංශික ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර Camilo Santana විසින් ලූලාගේ “නැවත පැමිණීම” අති විශිෂ්ට ලෙස සංවිධානය කිරීම පිලිබඳ රහස් අධ්‍යයනය කරමින් සිටින බවද වාර්තා වේ.

ඔක්තෝබර් මස මුලදී පැවති බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේදී, ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඔහුගේ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝට වඩා (47.06%) අඩුවෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.12% ක් වේ. ඉන්පසු ලූලා තම ප්‍රචාරක උපාය මාර්ගය නැවත පණ ගැන්වීමට සෙනෙට් සභික Camilo Santana තම ප්‍රචාරක කළමනාකරු ලෙස පත් කළේය. 58 හැවිරිදි Camilo Santana කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ඔහු ලූලා ද සිල්වා ගේ සමස්ථ ප්‍රචාරක ජාලය භාරගෙන ප්‍රතිවාදී බොල්සෙරානෝ අපේක්ෂකයාගේ හා ඔහුගේ පවුලේ ක්‍රියා කලාපයන් යලි සාක්ෂි සහිතව ජනතාව වෙත රැගෙන යමින් ඔහු ගේ අන්ත ෆැස්සිට් වාදී ප්‍රචාරක ජාලය උඩු යටි කුරු කර නව දිශාවක් එයට ලබා දීමට සමත් විණි. පළමු වටයේ ජයග්‍රහණය කල ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙන්ම, Flavio Bolsonaro ඔහුගේ ජයග්‍රහණය තහවුරු කරමින් සිටින පරිසරයක ඉදිරිපත් කල සියළු දේශීය, විදේශීය මත විමසුම් කණපිට හැරවීම යනු එසේ මෙසේ කාර්යයක් නොවන බව දේශපාලන විචාරකයින් ගේ මතයයි.

ආදර්ශමත් දේශපාලන ජීවිතයක් සහ කම්කරු අයිතිවාසිකම් පිලිබඳ සුවිශේෂ අත්දැකීම් ඇති, දුප්පත්කම හඳුනන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් ආරම්භ කරන ලද කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු වන සෙනෙට් සභික Camilo Santana උපත ලබා ඇත්තේ 1968 ජූනි 3 වනදා බ්‍රසීලයේ CRATO හි වේ. ඔහු 1990 සහ 2002 අතර බ්‍රසීලියානු සමාජවාදී පක්ෂයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය. මෙම කාලය තුළ, ඔහු 2000 සහ 2004 දී බාබල්හා නගරාධිපති ධුරයට දෙවරක් තේරී පත් වීමට උත්සහ කලද එය අසමත් වූ බව වාර්තා විය. නමුත් මෙම පරාජයන් මගින් ඔහු දේශපාලනය ඉගෙන ගත්තේය. 2002 හි දී Camilo Santana ලූලා ද සිල්වා ගේ කම්කරු පක්ෂයට සම්බන්ධ වේ. කෙසේ වෙතත්, පසුව, 2014 දී ඔහු Ceará ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් වීමට සමත් විය. 58 හැවිරිදි Camilo Santana 2022 දක්වා මෙම තනතුර දැරූ අතර, 2022 දී සෙනෙට් සභිකයෙකු ලෙසත් පසුව එම වසරේම ජනාධිපති ලූලාගේ රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් තේරී පත් විය.

ආණ්ඩුකාරවරයා ලෙස ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ජයග්‍රහණ අතර, Camilo Santanaගේ ඍජු අධික්ෂණය හා දිරිගැන්වීම් මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල සිදු වූ කැපී පෙනෙන ප්‍රගතිය බොහෝ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ පැසසුමට ලක් වේ. මෙම අධ්‍යාපන ප්‍රතිපත්තිය රාජ්‍යය සහ නගර සභා අතර සම්බන්දතා මත ප්‍රවර්ධනය විණි. සම්මත කරන ලද ප්‍රධාන නීති අතරට පූර්ණ-දින පාසල් අධ්‍යාපනය, විශ්වීය පූර්ණ-දින පොදු අධ්‍යාපනය, මුල් කාලීන සාක්ෂරතා වැඩසටහන් සහ වැඩිදියුණු කළ ගුරු අධීක්ෂණය සහ සහාය මත දුප්පත් දරුවන් ඉලක්ක කරමින් දියත් කල අධ්‍යාපන ව්‍යාපෘති ද ඇතුළත් වේ. ප්‍රාථමික මට්ටමින්, 2005 සහ 2022 අතර සාර්ථකත්ව සාක්ෂර අනුපාතය 3.2% සිට 7% දක්වා වැඩි විය. බ්‍රසීලයේ ඉහළම රජයේ පාසල් 100 න් 80 ක් Camilo Santana ආණ්ඩුකාර පදවිය හෙබ වූ සියරා ප්‍රාන්තය සතුව ඇත

බ්‍රසීලයේ 2026 ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵලවලින් පසුව, Camilo Santana ලූලාගේ මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන සම්බන්ධීකරණය භාර ගනු ලැබූ අතර හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත් ෆ්ලේවියෝ බොල්සොනාරෝ අපකීර්තියට පත් කිරීම සඳහා දැවැන්ත උපාය මාර්ගයක් දියත් කළේය. පළමුව Flavio Bolsonaro අපකීර්තියට පත් කිරීම සඳහා සමාජ මාධ්‍යවල පණිවිඩ රාශියක් පළ කළේය: “පුතා පියාට වඩා නරකයි.” ඒ ගැන සිතන්න!! සත්‍යය බෙදාගන්න!” ඔහු පැවසුවේ, අන්ත දක්ෂිණාංශිකයින් බලයට පත්වීම අවහිර කිරීමේ අවශ්‍යතාවය ද දිගින් දිගටම අවධාරණය කරමිනි: “බ්‍රසීලය අනතුරේ. Flavio Bolsonaro ගේ ප්‍රතිමුර්තයක් වන ආර්ජන්ටිනාවේ ජනාධිපති මිලෙයි විසින් එරට දින ගණනාවක් පුරා ජනතාව වීදි බැසීමෙන් අවුල් සහගත තත්ත්වයකට මුහුණ දෙන ආර්ජන්ටිනාව බවට බ්‍රසීලය පත් කිරීමට අපි ඉඩ නොදෙමු.” යන සටන් පාඨ රැගත් දැන්වීම් සමාජ ජාලා වල දහස් ගණනින් පතුරවනු ලැබිණි.

එසේම Camilo Santana බ්‍රසීල ජනාධිපතිවරණ ව්‍යාපාරයට META මැදිහත් වීම හෙළා දුටු අතර, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි මව් සමාගම බොල්සොනාරෝට පක්ෂව සිදු කරන අත්තනෝමතික මැදිහත්වීම්, අසත්‍ය ප්‍රචාර සිදු කිරීම් හා රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් ” සම්බන්ධයෙන් එම සමාගම් වලට ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කළේය. එසේම මෙම සමාගම් සිදු කරන මඩ,අසත්‍ය ප්‍රචාර වලට උත්තර නොබඳින ලෙස තම පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටියේය. එමගින් සිදු වන්නේ එම අසත්‍ය ප්‍රචාර වලට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීම බව අවධාරණය කළේය. අවශ්‍ය නම් එම සමාජ ජාලා ගිණුම් වසා ඉවත් කර දමන ලෙස ද ඉල්ලා සිටින ලදී. අන්ත දක්ෂිණාංශික කඳවුරේ අසත්‍ය ප්‍රචාරක ජාලා වලට උත්තර නොබැඳ ඒ වෙනුවට ගෙයින් ගෙට ගොස් ජනතාව අමතන ලෙස තම පාක්ෂිකයින්ගේ ඉල්ලා සිටියේය.

බ්‍රසීලයේ පලවන TIME පුවත්පතට අනුව, ඔක්තෝබර් 23 වන සිකුරාදා, Flavio Bolsonaro තම බැංකු ප්‍රකාශන සම්බන්ධයෙන් විනිවිදභාවය සඳහා වූ ඔහුගේ කැපවීමට ගරු නොකළ බවට Camilo Santana ඔහුට නව චෝදනාවක් සිදු කළේය. බ්‍රසීල මැතිවරණ විනිශ්චය කොමිසන් සභාවට ඉදිරිපත් කරන ලද ලේඛනයක, Flavio Bolsonaro කූට ලේඛණයක් ඉදිරිපත් කල බවට චෝදනා කරමින් ද ඔහුගේ බැංකු වත්කම්, බදු සහ දුරකථන වාර්තා හෙළි කිරීමට සුදානම් නම් ඒවා හෙළි කිරීමට ලූලා ද සිල්වාද සුදානම් යයි අභියෝග කළේය. – දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් සිටියදී දියත් කරන ලද මෙම හෙලිකිරීම මගින් බොල්සොරනෝ කඳවුර පුපුරා ගියේය. Camilo Santana දක්ෂිණාංශික අපේක්ෂකයා තම දත්ත නිකුත් කිරීම කල් දමමින් වැදගත් කමක් නොමැති ලියවිල්ලක් පමණක් ඉදිරිපත් කළ බවට ඍජුවම චෝදනා කළේය. මුදල් විශුද්ධි කිරීම් හා පාතාල සම්බන්ධතා චෝදනා එල්ල වී තිබෙන නීතිඥ විලර් ටොමාස් සහ සෙනෙට් සභික ඩැනියෙල් වෝර්කාරෝ ඇතුළු දුෂිතයින් සමඟ බොල්සොනාරෝගේ රහස් සම්බන්ධතා ද Camilo Santana සාක්ෂි සහිතව මාධ්‍ය සාකච්චා වලදී හෙළි කර සිටියේය.

“බ්‍රසීල ජනතාවට පිළිතුරු දිය යුතු සහ දූෂණය හා අපරාධ සමඟ සබඳතා පවත්වාගෙන යන දුෂිතයා ෆ්ලේවියෝ බොල්සොනාරෝ ලෙස හැඳින්වේ,” යන තේමාව යටතේ ඔහු ඔක්තෝබර් 22 සෙනසුරාදා කළ කතාවකදී චෝදනා කළේය. මෙම චෝදනා වලට මුහුණ දීමට උත්තර බැඳීමට Flavio Bolsonaro අපෝසත් විණි.

Camilo Santana එතනින් නතර වූයේ නැත. ජනතාව සමග ඍජුව බද්ධ නොවූ අරගලයක් තිබිය නොහැකි බව සනාථ කරමින් මැතිවරණ ප්‍රචාරක කළමනාකරු ලෙස සති තුනක කාලය තුළ, තම අපේක්ෂකයාට සහාය දැක්වීම සඳහා දිනපතා රැලි සහ වීදි පෙළපාලි රාශියක් සංවිධානය කළේය. බ්‍රසීලයේ අතිශය දුෂ්කර පළාත් වල, මුඩුක්කු වල ජීවත්වෙන ජනතාව හමු වීමට ගොස් ඔවුන් සමහ සාකච්චා කළේය. මේ දක්වා ලූලා පාලනය සිදු කල සුබ සාධන ව්‍යපෘති ජනතාවට පැහැදිලි කළේය. චන්ද පල ප්‍රතික්‍ෂේප කල මිලියන 4ක ජනතාවක් චන්ද පොලට ගෙන ඒම ඔහුගේ ඉලක්කය විය. ඩිජිටල් අවකාශය තුල “ලූලා සඳහා හමුදාවක් ” යන කණ්ඩායමක් සමාජ ජාලා තුල නිර්මාණය කල අතර ඉතාමත් කුඩා කාලයකදී එය මිලියන 10ක් ඉක්මවා ගියේය. එමගින් ප්‍රති වාදි කඳවුරේ මැතිවරණ මඩ ප්‍රචාර බැහැර කර ඒවාට ලූලා සිදු කල රටේ දුප්පත්කම අඩු කිරීමට, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා හඳුන්වා දුන් ව්‍යාපෘති මගින් පිළිතුරු ලබා දුන්හ.

Camilo Santana ගේ උපාය මාර්ගය ප්‍රධාන සංකල්ප තුනක් හරහා විශ්ලේෂණය කළ හැකිය: එනම් ප්‍රතිවිරෝධී දේශපාලන සන්නිවේදනය, මැතිවරණ බිම තුල අවසාන වශයෙන් ඉදිරිපත් වී ඇති දේශපාලන දැක්මවල් දෙකක් අතර පැහැදිලි විරුද්ධත්වයක් ගොඩනැගීම හා බිම් මට්ටමේ ජනතාව බලමුලු ගැන්වීම මගින් ඔවුන් ප්‍රචාරක උපකරණ බවට පරිවර්තනය කිරීම ප්‍රධාන කාරණා වේ.

අවසාන වශයෙන් ඩිජිටල් ප්‍රති-ප්‍රචාරණය: තරඟකාරී දේශපාලන ආඛ්‍යානයක් ඉදිරිපත් කරමින් ඒවා සංසරණය වන වේදිකාවල ඉදිරිපත් වන ප්‍රතිවිරුද්ධ කතිකාවන්ට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ද සිදු විය. මෙම ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ සාම්ප්‍රදායික බිම් මට්ටමේ ජනතාව හා පාක්ෂිකයින් අතර සම්බන්ධතා සමීප කිරීම සහ දැවැන්ත ඩිජිටල් සන්නිවේදනය අතර අන්තර් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීමයි. බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයේ මෙම සුවිශේෂී සංයෝජනය ඉස්මතු කර ඇත, නමුත් එක් එක් තාක්ෂණයේ බලපෑම නිශ්චිතවම හුදකලා කිරීමට නොහැකි වුවද අවසාන වශයෙන් එය සියළු සංකල්ප වල ඒකාබද්ධ සංකලනයක් නිර්මාණය කිරීම මගින් ජනතා ආකර්ෂණය දිනා ගත්තේය.

මේ සඳහා ඔක්තෝබර් 9 වන දින සිටම, Camilo Santana වෙනම විශේෂිත මැතිවරණ කාර්යාලයක් විවෘත කරමින් මැතිවරණ ප්‍රචාරක ජාලය වේගවත් කිරීම, ඉලක්කගත දේශපාලන සන්නිවේදනය සහ දේශපාලන ව්‍යාපෘති දෙකක් අතර ධ්‍රැවීකරණය මත තම ප්‍රචාරක ජාලය ආරම්හ කළේය. ප්‍රතිවාදියාගේ ප්‍රචාරක ජාලයේ විවේචනයට ක්‍ෂණිකවම තර්කානුකුල ප්‍රතිචාරයක් ලබා දුන්නේය. Camilo Santana ඇතුළත් මෙම කණ්ඩායම, ඔවුන්ගේ සන්නිවේදන අරමුණු අනුව කලාප වර්ගීකරණය කළේය: ආධාරකරුවන් පෙළ ගැස්ස වීම ජනතාව සමග සමීප සම්බන්දතා ගොඩ නැගීම, ලූලා පිළිබඳ ධනාත්මක පණිවිඩ ප්‍රචාරය කිරීම හෝ Flavio Bolsonaro පිලිබඳ විවේචන තීව්‍ර කිරීම උත්සන්න කරන ලදී. එබැවින්, මෙම සුවිශේෂී මැතිවරණ ව්‍යාපාරය රඳා පැවතියේ ජාතික මට්ටමේ කථා මත පමණක් නොව, එක් එක් මැතිවරණ කලාප වලට ගැලපෙන ලෙස වෙනස් සන්නිවේදන උපාය මාර්ග ද අදාළ ප්‍රදේශ වල අනන්‍යතා හඳුනා ගනිමින් සිදු කළේය.

ඒ අනුව පළමු වටයේ මැතිවරණ ප්‍රතිඵල තුල භෞමික විශ්ලේෂණය, ඩිජිටල් ප්‍රචාරණය තීව්‍ර කිරීම, දෙපාර්ශ්වයේ සමාජ ප්‍රතිපත්ති සංසන්දනය කරන පණිවිඩ බෙදා හැරීම සහ සමාජ ක්‍රියාකාරික, වෘත්තීය සමිති සහ ප්‍රජා ජාල බලමුලු ගැන්වීම මත පදනම් වූ දේශපාලන සන්නිවේදන මගින් පොදු ප්‍රචාරක ජාලයකට සියළු කඳවුරු බලමුලු ගැන්වීමේ උපාය මාර්ගයක් සංවර්ධනය කරන ලදී. මෙම උපායමාර්ගය විශේෂයෙන් ඉලක්ක කළේ ඡන්දය දීමෙන් වැළකී සිටීම අඩු කිරීම, ඊසානදිග ප්‍රදේශ වල ජනප්‍රිය සහයෝගය ශක්තිමත් කිරීම සහ අග්නිදිග, විශේෂයෙන් සාඕ පවුලෝ, රියෝ ද ජැනයිරෝ සහ මිනාස් ජෙරයිස් හි නව ඡන්දදායකයින් දිනා ගැනීමයි. මේ අනුව, මැතිවරණ බලමුලු ගැන්වීමේ සාම්ප්‍රදායික ක්‍රම, නව ඩිජිටල් සන්නිවේදන ශිල්පීය ක්‍රම සහ භෞමිකව අදාළ ප්‍රදේශ වල විශේෂිත වූ ප්‍රශ්ණ ඉලක්ක කිරීම සමඟ ඒවා ජාතික ප්‍රචාරක ජාලය සමග ඒකාබද්ධ කරන ලදී.

අවසානයේ දී 2026 ඔක්තෝබර් 25 වන දින පැවති දෙවන වටයේ දී, ලූලා ද සිල්වා මැතිවරණය ජයග්‍රහණය කළේ 51.79% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් හා Flavio Bolsonaro ට 48.21% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අවසානයේ පරාජයට පත් වී රටින් ද පැන යාමට සිදු වීමෙනි.

ඔක්තෝබර් 25 වන ඉරිදා ලූලාගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, සමාජ මාධ්‍ය තුල Camilo Santana වීඩියෝවකින් ජයග්‍රහණය සැමරුවේ:

“එය සිව්වන ජයග්‍රහණයක්! “මගේ ජනාධිපති තුමනි ලූලා, අපි එක්ව ගමන් කරමු !” යනුවෙන් පවසමිනි.

බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා ඔහුට “රී ද විරාඩා” (ආපසු හැරවීමේ රජු) යන අන්වර්ථ නාමය ලබා දී ඇති බව බ්‍රසීල මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා කර සිටි.

කෙසේවෙතත් මෙම මැතිවරණ ප්‍රතිවර්තනය මගින් සමකාලීන ප්‍රජාතන්ත්‍රවාදී රටවල බිම් මට්ටමේ ජනතාව සංවිධානය කිරීමේ, ඡන්දය දීමෙන් වැළකී සිටින අය බලමුලු ගැන්වීමේ සහ දේශපාලන සන්ධාන පුළුල් කිරීමේ වැදගත්කම පිලිබඳ මනා දැක්මක් ලොවට පෙන්වා දෙන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දේ. එසේම එය තවදුරටත් සම්ප්‍රදායික ප්‍රචාරක ජාලය නව තාක්ෂනය ඉදිරියේ පරාද නොවී ඇති බවට සාක්ෂියක්ද ලබා දෙන බව ඔවුන් තව දුරටත් පෙන්වා දේ. තමන් සිදුකල අවංක කාර්යභාරය රටට ඉදිරිපත් කරමින් ජනතාව සමග නොසැලෙන සම්බන්ධයක් ගොඩ නැගීම තුලින් IA වැනි නව තාක්ෂනය පවා බිඳ දැමිය හැකි බවත් දකුණු ඇමරිකාවේ වාමාංශික ආණ්ඩු බිඳ වැටීමේ මූලික හේතුව වන පාතාල, ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව නිසි පියවර නොගැනීම වැනි කාරණා යලි යලිත් ලූලා පාලනය හා ලෝකයේ අනෙකුත් වමේ නායකයින් අධ්‍යයනය කල යුතු බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දේ. 2024 වසරේදී පමණක් බ්‍රසීලයේ පුද්ගලයින් 44 127 ක් පාතාල කණ්ඩායම් මගින් ඝාතණය වී ඇති අතර දක්ෂිණාංශික කඳවුරේ Flavio Bolsonaroගේ ප්‍රධාන මැතිවරණ තේමාව වුයේ රටේ ආරක්ෂාවයි. කොලොම්බියාවේ, පේරූ, චිලි, ඉක්වදෝරයේ, වාමාංශික රජයන් බිඳ වැටීමට ආරක්ෂාව බිඳ වැටීම විශේෂ විය.

බ්‍රසීල පුවත්පතක් වන ෆෝල්හා ද එස්. පෝලෝට අනුව, අමාත්‍ය මණ්ඩල ප්‍රධාන ප්‍රතිසංවිධානය තුල Camilo Santana හට දේශපාලන හා පරිපාලන අමාත්‍ය පදවිය හා නව රජය සම්බන්ධීකරණය කිරීමේදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ හැකි අතර 2030 දී පැවැත්වෙන ඊළඟ ජනාධිපතිවරණයට පෙර කම්කරු පක්ෂයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ ඉඟියක්ද ලබා දෙන බව පෙන්වා දේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්