2013 වසරේ අග භාගයේ කැස්බෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කළු ගඟ ජල සම්පාදන ව්යාපෘතිය නිසා අලාභහානි වූ මාර්ග 19ක් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික ජලසම්පාදන සහ ජලපවාහන අමාත්යංශය විසින් කැස්බෑව නගර සභාව වෙත රුපියල් මිලියන 19.5කට ආසන්න මුදලක් ලබා දුන්නද 2015 වනවිටත් මාර්ග පිළිසකර කිරීම අවසන් නොවීම හේතුවෙන් ඇස්තමේන්තු අභිබවා විශාල මුදලක් සභාවට වියදම් කිරීමට සිදුව ඇත. ඒ හේතුවේ කැස්බෑව නගර සභාවට දැඩි මූල්ය අර්බුදයකට මුහුණදීමටද සිදුව තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන අමාත්යංශයේ කිසිදු පසු විපරමක් හෝ අධීක්ෂණයකින් තොරව ව්යාපෘතිය සිදු කොට ඇති අතර මෙම මුදල් උක්ත කරුණ සඳහා සම්පූර්ණයෙන් නොයොදා, මාර්ග පිළිසකර කිරීමට යැයි පවසා මුදල් විශාල ප්රමාණයක් නිලධාරීන් කිහිපදෙනෙකු අතර බෙදා ගැනීමට නගර සභාවේ මුදල් කමිටුව කටයුතු කර ඇත.
2012 වසරේ සිට කැස්බෑව නගර සභාවට වසරකට රුපියල් මිලියන 2කට වඩා ස්ථීර ආදායමක් ලබා දුන් කැස්බෑව තානායම නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කඩා ඉවත් කිරීමට සභාව අනුමැතිය ලබා ගන්නේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මාස 06ක් තුළ අවසන් කොට පෙර අදායම මෙන් දෙගුණයක් අදායම ලබා දීමට හැකි බව පවසමිනි.
රුපියල් මිලියන 50කට අධික ඇස්තුමේන්තුවක් ඉදිරිපත් කර, වියදම එම මුදල අභිබවා ගියද අවසානයක් නොමැති ගොඩනැගිල්ලක් ඉතිරි වී තිබේ.
2014 වර්ෂ අවසාන කාල සීමාවේ කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවක තොරණක් සඳහා අනවශ්ය ලෙස රුපියල් හාරලක්ෂ හතලිස් පන්දහස් පන්සියයක (රු. 445,500) රජයේ මුදල් අපහරණය කිරීම සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් කැස්බෑව නගර සභාවට ප්රදානය කළ කොඩි කණු 120ක් අස්ථානගත කිරීම වැනි චෝදනා සම්බන්දවද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබී ඇති පැමිණිල්ලක්ද ඇතුළුව උක්ත පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා එහි වාර්තාවක් සහිතව පැමිණිලි අංක ACC/FC/2015/301 යටතේ වැඩි දුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.
එහෙත් එහි ඉදිරි විමර්ශන කටයුතුවල ප්රගතිය කවරාකාරදැයි මෙතෙක් වාර්තා නොවේ.









