කෝටි 45ක මිල්කෝ කිරිපිටි හොර රහසේම ඉවතට

මිල්කෝ සමාගම මගින් නිපදවූ කිරිපිටි කිලෝ ග‍්‍රෑම් කෝටි හයකට අධික ප‍්‍රමාණයක් අඹේවෙල කර්මාන්තශාලාවේ ගොඩගසා ඇති බව වාර්තා වේ.

රුපියල් කෝටි හතළිස් පහකට අධික වටිනාමකින් යුත් මෙම කිරිපිටි තොගය මෙසේ විනාශ කිරීමට සිදුව ඇත්තේ මිල්කෝ බලධාරීන්ගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපය හේතුවෙන් බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල්කෝ සමාගම මගින් මිලදී ගන්නා දියර කිරි හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ් යොදා කල්තබා ගන්නා අතර, මෙසේ විනාශ කිරීමට ගොඩගසා ඇත්තේ එසේ කිරිපටි බවට පත් කරන ලද දියර කිරි ය.

හයිඩ‍්‍රජන් පෙරොක්සයිඩ් කිරිවලට එකතු කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කර ඇත.  එසේ තහනම් කර ඇත්තේ ජාන විකෘතිතා ඇතිවීමේ ප‍්‍රවනතා එහි ඇති  බව පරීක්ෂණවලින් හෙළි වීමෙන් අනතුරුවයි.

ඒ අනුව හයිඩ‍්‍රජන් පෙරොක්සයිඩ් යොදා ඇති මිල්කෝ කිරි පිටි තොගය වෙළඳපොළට නිකුත් කිරීම නීති විරෝධී කි‍්‍රයාවකි.

මෙම කිරිපිටි  තොගය පරිභෝජනයට සුදුසු තත්ත්වයට ගෙන ඒමට නම් තවත් විශාල මුදලක් හා කාලයක් වැය කිරීමට සිදු වේ.  ඒ නිසා හොර රහසේම මෙම කිරිපිටි තොගය විනාශ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව එහි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් මේ පිළිබඳව මාධ්‍ය කළ විමසුමක දී මිල්කෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මිල්කෝ සමාගම නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි ප‍්‍රමිති කරණයකට ලක් කරන බවත්, ඒ ප‍්‍රමිතගත කිරීම්වලදී වෙළෙඳපොළට මුදා හරිනු ලබන්නේ ඒ සහ බී තත්ත්වයන් යටතේ පවතින නිෂ්පාදන බවත්, මෙම කිරිපිටි තොගය පවතින්නේ  වෙළෙඳපොළට නිකුත් කළ නොහැකි පහළ ප‍්‍රමිතියකින් යුතු තත්තවයක් යටතේ බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මෙම කිරිපිටි තොගය විනාශ කිරීමට පියවර නොගන්නා බවත් අලූතින් නිෂ්පාදනය කරනු ලබන කිරිපටි සඳහා මේවා යම් ප‍්‍රමාණයකට එකතු කොට මෙම කිරිපටි තොගය අවසන් කිරීමට බලාපොරෙත්තු වන බවත් ය.

ආශ්‍රිත පුවත්

මිල්කෝ කිරි ඌරන්ට

Facebook
Twitter
LinkedIn