සමගියෙන් ඉන්නෙත් හොරා කන්න. ගහගන්නෙත් හොරා කන්න – ටිල්වින් සිල්වා

ආණ්ඩුව ඇතුළේ එකට ඉන්න දේශපාලන පක්ෂ නැගෙනහිර පළාත්සභාව සදහා වෙනම තරඟ කරමින් සිටින බවත් මෙයින් පෙන්නුම් කරන්නේ “සමගියෙන් ඉන්නෙත් හොරා කන්න. ගහගන්නෙත් හොරා කන්න” බවත් මෙම තත්වය ජනතාව ඉතා නිවැරදිව තේරුම්ගත යුතු බවත් ඒ අනුව ඉතා හොඳින් මේ දේශපාලන කරුණු අවබෝධ කරගනිමින් මේ ආණ්ඩුවේ ගමන ආපසු හරවන ඡන්දයක් බවට මේ පළාත් සභා මැතිවරණ පත්කරගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරණ බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  අද (22) පැලවත්ත එම පක්ෂ ප්‍රධානකාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා  එම පක්ෂයෙන් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදීන උතුරු මැද කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා, සබරගමුව කණ්ඩායම් නායක ගාමිණී රත්නායක මහතා සහ නැගෙනහිර කණ්ඩායම් නායක වසන්ත පියතිස්ස මහතාද සහභාගී විය.

එහිදී තව දුරටත් අදහස් දැකවූ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ “නාමයෝජනා බාරගැනීමට පෙර සිටම සියලු මැතිවරණ නීති පමණක් නොව පරිසර නීති පවා උල්ලංඝණය කරමින් ආණ්ඩු පක්‍ෂය ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ගැන සාක්‍ෂි විශාල ප‍්‍රමාණයක් අප සතුව තිබෙනවා. උතුරු මැද, සබරගමුව, නැගෙනහිර යන පළාත් සභාවලට ආණ්ඩුව මුලු රාජ්‍ය බලයම යොදවා රජයේ මුදල්, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවලට අයත් තානායම් ඇතුළු සියලු දේ යොදවාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙනවා. අනුරාධපුරයේ අවුකන පිළිමයටත් වඩා උස කටවුට් ගසා තිබෙනවා. මැතිවරණ නීතිය පමණක් නොව සාමාන්‍ය පාරිසරික නීති, පළාත් පාලන ආයතන නීති උල්ලංඝණය කරමින් මෙම නීති විරෝධී කටවුට් ආණ්ඩු පක්‍ෂයෙන් ගසා තිබෙනවා.

ආරම්භයේ සිටම ආණ්ඩු පක්‍ෂය කි‍්‍රයා කරන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡා වට දෙකකදී අපි කරුණු අනාවරණය කළා. මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳව විශේෂ සැලකිල්ලට ලක් කළා. පරිසර නීතිය රකින්න ඩෙංගුවලට දඩ ගහන ආණ්ඩුව මැතිවරණය නිසා පරිසරය විශාල වශයෙන් දූෂණය කරමින් තිබෙනවා. ඒ වගේම ජනතාව නොමග යැවීමට අල්ලස් දීමේ විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් තිබෙනවා. ජනාධිපතිවරයා මැදිහත්වී භාණ්ඩ කිහිපයක බදු මිල අඩුකිරීම ප‍්‍රධානම අල්ලස් දීමක්. මැතිවරණය ප‍්‍රකාශයට පත් කළාට පසු රැකියාවල් ලබාදෙමින් සිටිනවා. මෙය සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතියට පටහැනියි. රූපවාහිනී සජීවී සංවාදයකදී අප මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම්වරයාගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ නාමයෝජනා භාර ගෙන අවසන් වූ පසු රැකියා ලබානොදීම මැතිවරණ නීතියේ සඳහන් වන බවයි. මේ ආකාරයෙන් ජනතාව නොමඟ යවමින් ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ කටයුතු කරන ආකාරය ගැන මහජනතාව වඩා විමසිලිමත් විය යුතුයි.

උතුරුමැද පළාතේ ගොවීන්ට වගා හානි සිදුවීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා උද්ඝෝෂණ කළා. ඒ අවස්ථාවේ ආණ්ඩුව ප‍්‍රකාශ කළේ ගොවීන් හිතාමතාම වගා පාලු කරගනිමින් වන්දි ඉල්ලමින් උද්ඝෝෂණය කරන බවයි. මේ වනවිට වන්දි ලබාදෙන බව පවසා විවිධ ආකාරයේ අල්ලස් දීමට ඉදිරිපත් වී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නායකයා ඇතුළු ආණ්ඩුවේ නායකයින් මැදිහත්වන රාජ්‍ය උත්සව පවත්වා මැතිවරණ කරගෙන යන ආකාරය අපට පැහැදිලියි.

ආණ්ඩු විරෝධී ජනතාව නිහඬ කිරීමේ උපක‍්‍රමයක් හැටියට මේ පළාත් සභා මැතිවරණ ක‍්‍රමය හඳුන්වා දුන්නා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම ඇතුලු තමන්ගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමට අරගල කරමින් සිටිනවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් මේ ආකාරයෙන් අරගල කරමින් සිටිනවා. ජලය හිඟයට පිළියම් යොදන ලෙස සහ වගා පාලුවලට වන්දි ගෙවන ලෙස ගොවීන් අරගල කරනවා. අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමත් ගොවීන්ගේ අරගලවලට හේතුවක්. ධීවරයා ඉහළ ගිය තෙල් මිල අඩුකිරීමට බලකරමින් අරගල කරමින් සිටිනවා. Z ස්කෝර් ලකුණු නිවැරදි කරන ලෙස බලකරමින් සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ශිෂ්‍යයන් අරගල කරමින් සිටිනවා. ඒ වගේම විවිධ වෘත්තිකයන්ගේ ආත්ම ගරුත්වය රැකගැනීමට අරගල කිරීමට සිදුවීමත් අලුතින්ම දැකිය හැකි කාරණයක්. අධිකරණයේ විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් අරගල බිමට එකතුවීම ආසන්නම හේතුවයි. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ පොලිස් නිලධාරියෙකුට විරුද්ධව අධිකරණ තීන්දුවක් දුන් විනිශ්චයකාරවරුන්ට හූ කියා බලපෑම් කළ බව අපි දන්නවා. අද වනවිට විනිශ්චයකාරවරුන්ට තර්ජනය කරමින් අධිකරණවලට ගල් ගහන මට්ටමකට පත් වෙලා. මේ සියලුම ජන කොටස් ආණ්ඩුව සමඟ කිසියම් අරගලයක නිරත වී සිටිනවා. මේ ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ නීති විරෝධී කි‍්‍රයාමාර්ගවලට විරුද්ධව සියලූම ජන කොටස් කුමන හෝ ආකාරයක අරගලයකට යොමුකර තිබෙන්නේ ආණ්ඩුව විසින්මයි.

තමන් ශක්තිමත් බව පෙන්වීමට හදිසියේම ගෙනා ඡන්දය ආණ්ඩුවේ අර්බුද පෙන්වන ඡන්දයක් බවට පත් වෙලා. නැගෙනහිර පළාතේදී මේ තත්වය විශේෂයෙන් දැකගත හැකියි. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් වන හෙළ උරුමය මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන් සඳහන් කරන්නේ රට දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක තිබෙන අවස්ථාවක ඡන්දයක් පවත්වන එක වැරදි බවයි. ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර පළාත වෙනුවෙන් වෙනම ඡන්දය ඉල්ලනවා. ආණ්ඩුවේ ප‍්‍රධාන ආරක්‍ෂකයෙකු වන විමල් වීරවංශ ති‍්‍රකුණාමලයට පමණක් වෙනම නාමයෝජනා භාරදී තිබෙනවා. පැණි වරකාවට හෙණ ගැහුවා වගේ කියන ප‍්‍රකාශය ඉස්මතු කරමින් ඉතිහාසයේ පළමු වතාවට මේ ආරක්‍ෂකයාත් ආණ්ඩුව විරුද්ධව මත පළකරමින් සිටිනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල මේ හැසිරීම කුමන නියායකින් හෝ සදාචාරයකින් තේරුම්ගත යුතුදැයි සලකා බැලිය යුතුයි. ති‍්‍රකුණාමලයේදී මුස්ලිම් කොංග‍්‍රසයත්, විමල් වීරවංශ මහත්තයාගේ පක්‍ෂයත් ආණ්ඩුවට විරුද්ධව වේදිකාවේදී ප‍්‍රහාර  එල්ල කරනවා. ආණ්ඩුව ඇතුලේ එකට කටයුතු කරනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ, ‘සමගියෙන් ඉන්නෙත් හොරා කන්න. ගහගන්නෙත් හොරා කන්න’ බවයි. මේ තත්වය ජනතාව විසින් ඉතා නිවැරදිව තේරුම්ගත යුතු බව අපි අවධාරණය කරනවා. ඒ අනුව ඉතා හොඳින් මේ දේශපාලන කරුණු අවබෝධ කරගනිමින් මේ ආණ්ඩුවේ ගමන ආපසු හරවන ඡන්දයක් බවට මේ පළාත් සභා මැතිවරණ පත්කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.

ආණ්ඩුවේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් ඇතුළු මහජන නියෝජිතයන් 25කට වැඩි පිරිසක් අධිකරණය ඉදිරියේ චෝදනාවලට ලක්වූ අයයි. මේ මැතිවරණයේත් එවැනි සමාජ විරෝධීන් සිටින බව පැහැදිලියි. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සමඟිය ගොඩනගනවා වෙනුවට ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ ජාතිවාදය අවුස්සා කෙසේ හෝ ඡන්දය දිනාගැනීමේ අරමුණයි. ඒ වෙනුවෙන් විවිධ කි‍්‍රයාමාර්ග ආණ්ඩුව තෝරන අතරේ ජනතා විමුක්ති පෙරමුණ සැබෑ ලෙසම ජාතික සමඟිය ගොඩනැගීමේ දිශාවට මේ මැතිවරණය පත්කරගන්න කටයුතු කර තිබෙනවා. නැගෙනහිර පළාත නියෝජනය කරන අම්පාර දිස්ති‍්‍රක්කයට වසන්ත පියතිස්ස සහෝදරයා, මඩකලපුව දිස්ති‍්‍රක්කට මරුගන් මෝගන් සහෝදරයාත්, ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට ආබ්දීන් බි‍්‍රහාන් ස්මිල් සහෝදරයාත් නායකත්වය ලබා දෙනවා. සැබෑ ජාතික සමඟිය ගොඩනැගීමේ ආදර්ශය ජනතා විමුක්ති පෙරමුණ ලබා දෙන්නේ ඒ ආකරයෙන්. ඒ වගේම මෙම මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ තේමා පාඨය වශයෙන් තොරාගෙන තිබෙන්නේ ‘‘ජන සටනට-නව ජවයක්’’ යන්නයි. ආණ්ඩුවට එරෙහිව රට පුරා නැගෙමින් පවතින ජනතා සටන් ඒකාබද්ධ කරමින් අලුත් ජවයකින් කටයුතු කිරීමට ඒ අනුව අපි ක‍්‍රියාමාර්ග සැලසුම්කර තිබෙනවා. මැතිවරණය නොපැවෙත්වන දිස්ති‍්‍රක්කවල පවා ජනතාව දැනුවත් කරමින් සංවිධානය කිරීමේ කටයුතු මැතිවරණ නීතිවලට අනුකූලවත් සාමාන්‍ය නීතියට එකඟවත් අපි කරගෙන යනවා. දිස්ති‍්‍රක් මට්ටමින් එක් ජාතික රැලියක් බැගින් වගේම අවම වශයෙන් ජනහමු 500ක් පමණ පවත්වන පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙලක් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සැලසුම් කර තිබෙනවා.

රජයේ සියලුම මාධ්‍ය යොදාගනිමින් ජනතාව මුළා කිරීමට ආණ්ඩුව ගෙනයන කි‍්‍රයාමාර්ග පිළිබඳව විවිධ විකල්ප වැඩසටහන් ඔස්සේ අපි ජනතාව දැනුවත් කරනවා. මහජන මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීමට විරුද්ධව ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම මනාප සටනක් නැති මැතිවරණ සංස්කෘතියක් ජනතාවට හඳුන්වා දුන්නේ අපේ පක්‍ෂයයි. වැටුප් නොගෙන මහජන සේවය කිරීමේ ආදර්ශය දුන්නේ අපේ පක්‍ෂයයි. නාස්තිය සහ හොරකමට විරුද්ධව කටයුතු කරන ආකාරය පැහැදිලි කරදුන්නෙත් අපේ පක්‍ෂයයි. මෙවැනි ආදර්ශයන් ලබාදී තිබෙන ජනතා විමුක්ති පෙරමුණට මෙම පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ලබාදී ආණ්ඩුවේ ලොක්කන්ගේ ඥාති සංග‍්‍රහයන් දිනවන ඡන්දයක් වෙනුවට ජනතාව දිනවන ඡුන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගන්නා ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

මෙම අවස්ථාවට සහභාගීවූ උතුරුමැද පළාත් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වමින් “මැතිවරණ උණුසුම වැඩි වෙමින් තිබෙනවා. ඒ සමඟම රාජ්‍ය ආයතනවල සියලුම සම්පත් යොදාගනිමින් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය දියත් කර ඇති බව මේ පළාත් සභා තුනේදී දැකගන්න පුළුවන්. වැව් බැඳි රටේ අවුරුදු 15ක් මහ ඇමති වෙලා හිටිය බර්ටි දිසානායක මහත්තය ගොවීන්ගේ කිසිම ගැටළුවක් විසඳන්න සමත් වී නැහැ. මේ වනවිට ගොවියාට වතුරටික පවා ලබාදෙන්න බැරි තත්වයක් පත්වෙලා. කුඹුරු පාලු වූ ගොවීන්ට සාධාරණ වන්දියක් ලබාදෙනවා වෙනුවට ගොවි සංවිධානවල සභාපතිවරුන්ට රුපියල් 5,000 බැගින් දී ගොවියන්ව නිහඬ කිරීමේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරමින් සිටිනවා. වතුර වෙනුවට වතුර මෝටර් ලබාදීලා තම දේශපාලන හිතවතුන් මාර්ගයෙන් ගොවීන්ව නිහඬ කරනවා. ඒ වගේම ඇල මාර්ග නඩත්තුවට රුපියල් ලක්‍ෂය බැගින් ලබාදෙමින් සිටිනවා. බර්ටි දිසානායක හිටපු මහ ඇමතිවරයාට අමතරව එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා තමන්ගේ මල්ලිගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් උදළු තල 140,000ක් බෙදා දීමේ ව්‍යාපාරයක් පටන් ගෙන. දැයට කිරුළ සඳහා ගෙනා උදළු තල මේ ආකාරයට බෙදා දෙනවා. නීති විරෝධී තොරන්, බැනර්, කටවුට් ආදිය ගැන ප‍්‍රධාන ලේකම්වරයාත් සඳහන් කළා. ගොවි විශ‍්‍රාම වැටුප අහෝසි කරලා ගොවීන්ගේ මුදල් පවා ලබා නොදෙන තත්වයට පත් වුණු ආණ්ඩුවක් නැවත වතාවක් පළාත් සභා හරහා තමන්ගේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරනවා.

යන්ත්‍රෝපකරණ නිර්මාණ හා සංවර්ධන ආයතනයේ සභාපතිවරයා රුපියල් ලක්‍ෂ 800ක් වංචාකර තිබෙන බව ජනාධිපති විමර්ශන ඒකකයෙන් සොයාගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව මේ වන විට අධිකරණයේ නඩුවක් පවා පවතිනවා. ඔහුත් මෙවර පළාත්සභා මැතිවරණ නාමලේඛණයේ සිටින පුද්ගලයෙක්. මෙවැනි තත්වයක් තුළ පළාත් සභා මැතිවරණය ජනතාවගේ ප‍්‍රශ්න වැඩිකර පීඩනය සහ අවනීතිය රජකරන පැත්තට ගෙනයන බව අපට පැහැදිලියි.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට සහභාගීවූ සබරගමුව පළාත් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා අදහස් දක්වමින් “සබරගමුව පළාත් සභාවේ බලය පසුගිය වාර දෙකේදීම දැරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ කාලය තුළ ජනතාවගේ ප‍්‍රශ්න උග‍්‍රවී දැවෙන ප‍්‍රශ්න බවට පත්වී තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ජනතාව කබලෙන් ලිපට වැටිලා. ඒ අතර මේ පළාත් සභා මැතිවරණයේදී ඥාති සංග‍්‍රහ වැඩිම දිස්ති‍්‍රක්කය කෑගල්ල දිස්ති‍්‍රක්කයයි.

දිස්ති‍්‍රක්කයේ නාමලේඛණය 20ක් වන විට ආණ්ඩු පක්‍ෂයෙන් ඉදිරිත්වන අට දෙනෙක් ඥාති සංග‍්‍රහයේ අනුග‍්‍රහය ලබාගත්ත අය. ඒ වගේම අපරාධකරුවන් සේ සලකන පුද්ගලයන්ටත් නාමයෝජනා ලබාදී තිබෙනවා. අයි. ආර්. සී. කාරයකේ වශයෙන්  හඳුන්වන ආර්.සී.401117 අංක දරන චන්දන ජයලාල් ජයසේන නොහොත් ජයසිංහ ආරච්චිලාගේ චමින්ද ලාල් පෙරේරා නැමැත්තකුටත් ආණ්ඩු පක්‍ෂය නාමයෝජනා ලබාදී තිබෙනවා. අයි. ආර්. සී ලේඛණය යටතේ ඔහු ලියාපදිංචි කර තිබෙන්නේ 2004.02.12 දිනදීයි. මොවුන් ආණ්ඩුවේ නාමලේඛණයට ආවේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. සබරගමුව පළාත් සභාව අකාර්යක්‍ෂම බව මධ්‍යම ආණ්ඩුවේ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාම ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒකෙන්ම පැහැදිළි වන්නේ පවතින තත්වයේ බරපතල කමයි. කෑගල්ල දිස්ති‍්‍රක්කය පුරාමත් රත්නපුර දිස්තික්කය පුරාමත් කටවුට් දමා තිබෙන හැටි දැක්කාම ජනාධිපතිවරයාත් මෙම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වනවාදැයි ප‍්‍රශ්නයක් මතුවෙනවා.

මෙම අවස්ථාවට සහභාගීවූ නැගෙනහිර පළාත් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා අදහස් දක්වමින් “උතුරු පළාතට බලහත්කායෙන් ඈඳා තිබූ නැගෙනහිර පළාත අධිකරණ කි‍්‍රයාමාර්ග හරහා වෙන් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊට පසු නැගෙනහිර පළාත් වෙනුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. මේ පළාත් සභාවේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න විශාල වශයෙන් වැඩිවී තිබෙනවා මිස අඩුවක් නැහැ. ගොවියන්, ධීවරයන්, විශාල වශයෙන් සිටියත් ඔවුන්ගේ සිංහලුම ප‍්‍රශ්න වැඩිවී තිබෙනවා. වීවලට රුපියල් 40ක සහතික මිලක් ලබාදෙන ලෙස ගොවීන් අරගල කරනවා. ඒ වගේම ධීවර ජනතාව වෙනුවෙන් අම්පාර දිස්ති‍්‍රක්කයට එකම ධීවර වරායක්වත් නැහැ. ධීවර තොටුපොලවල් කිහිපයක් පමණක් තිබෙනවා. සපිරි පාසැල් දහසේ ව්‍යාපෘතිය යටතේ පාසැල්වල ප‍්‍රාථමික අංශය ඉවත් කිරීමෙන් අතරමං වූ ශිෂ්‍යයන් වෙනුවෙන් පොල් අතු මඩු ඉදිකර දී තිබෙනවා. පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නැහැ. මේ තත්වයන් සියල්ල සැලකිල්ලට ගනිමින් තමන්ගෙ වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.ජනතාවගේ සටන්වලට ඇත්ත ජවයක් ලබාදෙමින් මේ සියලූ තත්වයන්ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ඡන්ද ව්‍යාපාරය සකස්කර තිබෙනවා.

Facebook
Twitter
LinkedIn