ආශ්චර්ය මේනියාව වැළඳුණු කල…

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යමින් සිටින බව කියයි. මේ ආශ්චර්යය කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව තුළම නිසි පැහැදිලි කරගැනීමක් සිදුකර ගෙන නොමැත. ඒ නිසාදෝ ආණ්ඩුවේ විවිධ පුද්ගලයින් තමන්ගේ නැණ පමණින් එය තේරුම්කර ගැනීමටත් ඒ සඳහා ක්‍රියාත්මක වන්නටත් පටන් ගෙන තිඛෙනු දැකිය හැකිය.

ජනාධිපතිවරයාගේ ගම් ප්‍රදේශයේ  තංගල්ල නගර සභාවේ සභාපතිවරයාට අනුව එය බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතාට වෙඩි තබා මරා රුසියානු ජාතික තරුණිය දූෂණය කිරීමේ නිදහසය. තංගල්ල ප්‍රාදේශීය සභාවෙ අංජන මන්ත්‍රීවරයාට අනුව ඒ රැකියාවක් සොයා ආ 14 හැවිරිදි දැරියක් දූෂණය කරලීමේ නිදහසය. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල්ට අනුව එය කාන්තාවන් සියගණනක් සමග ලිංගිකව හැසිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් තබන මධු සාදයේදී දැරියක් දූෂණය කිරීමට ලැබීමය. තංගල්ල නගර සභාවේ තවත් මන්ත්‍රීවරයෙකුට අනුව එය සොරකම් කිරීමට ලැඛෙන අවස්ථාවය. මැදමුලනේ ගැවසෙන ජූලම්පිටියේ අමරෙලා අනුව එය මිනී මැරීමට, කප්පම් ගැනීමට, විරුද්ධ පක්ෂවල රැස්වීම්වලට පහරදී වෙඩි තැබීමට ලැඛෙන නිදහසය. මෙසේ එකිනෙකා ඒ ආශ්චර්යය තේරුම් කරගන්නා ආකාර දිගින් දිගට විස්තර කිරීමට යාම මේ සටහන තවත් දීර්ඝ කරවන්නකි.

සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා දැරියක පැහැරගෙන යාම පිළිබඳ නඩුවක වරෙන්තුකරුවෙකුව සිටියෙදී රජගෙදර උත්සවයකට සහභාගිවී සිටිනු රූපවාහිනියෙන් ජනතාව දැකගත්හ. ඔහුම පිරවුම්හලක බලපත්‍රයක් ලබාදීම සඳහා ගම්පහ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා ඇති බව ජනාධිපතිවරයාට පැමිණිලි කළේ, විරුද්ධ පක්ෂයෙන් නොව බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගය. එසේ කප්පම් ඉල්ලා ඇත්තේ රාජකාරී දුරකථනයෙන් බව පසුව හෙළිදරව් වීම වෙනම කරුණකි. සුදර්මන් රදැලියගොඩ නම් ශ්‍රීලනිපයේ මැද කොළඹ ආසන සංවිධායකවරයා යකඩ ජාවාරමකට වරෙන්තුකරුවෙකුව සිටිමින්ද පුද්ගලයින් විදෙස්ගත කිරීම සඳහා යැයි කියමින් මුදල් එකතු කර ගෙන ගනුදෙනුකරුවන් මගහරිමින්ද සිටින්නේ, ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියකුව සිටිමිනි. චන්දන කත්‍රිආරච්චි නම් කැස්බෑව ශ්‍රීලනිප සංවිධායකවරයා මිනීමැරුම් චෝදනා ලැබ සිට ආණ්ඩුවේ නීතිපතිවරයාගේ අනුග්‍රහයය මත චෝදනා ඉල්ලා අස්කරගැනීමට තරම් වාසනාවන්ත විය. ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මහ දවාලේ වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ පිළිබඳව සැක කෙරෙන කොළොන්නාව ශ්‍රීලනිප සංවිධායක දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අද වන තුරු ඝාතනයේ සැකකරුවෙකු නොවී ආරක්ෂිතව විදෙස් රටක වෙසෙයි. නිදන් හෑරීමේ යෙදී සිට ගම්වාසීන්ගේ අත්අඩංගුවට ලත් විශේෂ කාර්ය බලකා භටයින්ට එම අණ ලබා දුන්නේ කවුරුන්ද යන්න නීතිය ක්‍රියාත්මක කරන කිසිවෙක් විහිළුවටවත් අසා නැත. මෙසේ ආශ්චර්යයේ ඵල ලැබූ පුද්ගලයින් පිළිබඳව තව තවත් විස්තර කිරීමට යාමද වෙහෙසකරය.

කී නොකී මෙම සියලූ සිදුවීම් මගින් ආණ්ඩුව  තම ආධාරකරුවන්ට, සමීපතමයින්ට, හිතවතුන්ට, හිතවතුන්ගේ අසල්වාසීන්ට ලබාදුන් ආදර්ශය කුමක්ද? නීතිය කඩන්නේ මොනයම් හෝ ආකාරයකින් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙක් නම් නීතියේ රැහැනින් ගැලවී ගත හැකි බවය. ආණ්ඩුව එය ගැසට් පත්‍රයක්, චක්‍රලේඛයක් මගින් ප්‍රසිද්ධ කර නොමැති බවට කෙනෙකු මෙම කරුණ සමග වාදයකට එළඹිය හැකිය. වාදයක් අවශ්‍ය නැත. එම කරුණ සැබෑය. එහෙත් කෙනෙකු පොතපතට වඩා උගන්නේ තමන්ගේ අත්දැකීම්වලිනි. රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉහළ සිට පහළට ලබා දී ඇති ආදර්ශය එබඳුය.

පසුගියදා මාධවේදිනියක යම් කරුණක් පිළිබඳ පැහැදිලි කරගැනීමක් සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමතුමක් ලබාගත්තාය. එහෙත් අසන ලද පැණයට පිළිතුරු ලෙස ඔහු විසින් අදාල මාධ්‍යවේදියගේ හා එම පුවත්පතේ මාධ්‍ය භාවිතය පිිළිබඳව ඉතා අසභ්‍ය ලෙස බැණ වැදී වක්‍රාකාර මරණීය තර්ජන එල්ල කර තිබේ. අදාල පුවත්පතේ මාධ්‍ය භාවිතය පිළිබඳව කෙනෙකුට ප්‍රශ්න තිබිය හැක. ඒ පිළිබඳව පැහැදිලි කර පිළිතුරු නොදී සිටීමේ අයිතියද ඇත. එහෙත් ග්‍රාම්‍ය ලෙස බැණවැදීමත් නොනිල මර්දනකාරිත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් ඊට ඉඳුරාම වෙනස්ය. ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරියෙකුගෙන් එබඳු හැසිරීමක් ප්‍රකාශයට පත්වෙද්දී ආශ්චර්යයේ සීමා මායිම් සොයමින් සිටින ජූලම්පිටිය අමරෙලා තමන් පිළිබඳව පුවතකට ලියූ මාධ්‍යවේදීයාගේ අතුණු බහන් එළියට ඇදීමට වහසිබස් දෙඩීම පිළිබඳව කෙනෙකු විමතියට පත්විය යුතු නැත. මාධ්‍ය ආයතනයකට සිදුවන ගිනි තැබීමක්, මාධ්‍යවේදියෙකුට සිදුවන පහරදීමක්, මාධ්‍යවේදියකුගේ අතුරුදහන්වීමක් ජනතාව තේරුම් ගත යුත්තේද මෙවැනි සන්දර්භයක් තුළමය.

කුමනාකාරයේ හෝ අවකල් කි්‍රයාවක් කර ගැලවිය හැකි බවටත් යම් ප්‍රමාද දෝෂයකින් සැකකරුවෙකු වන්නට සිදුවුවහොත් නීතිපතිවරයාට, පොලීසියේ ඉහළට කතාකර වැඩේ ගොඩදාගත හැකි බවටත් ආණ්ඩුවේ අන්තිම වාටියේ සිටින ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාටත් කල්පනා වන්නේ අහම්භයකින් නොවේ. පූර්වයෙන් එබඳු අත්දැකීම් ඇති නිසාය. එබඳු නීතිපතිවරුන් පිළිබඳව ඔවුන් දැනසිටි නිසාය. නීතිපති දෙපාර්තමේන්තුව අපේ ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතනයක් යැයි ඔවුන් ඒත්තු ගෙන තිබෙන නිසාය. 18වැනි සංශෝධනයෙන් පොලීසිය ජනාධිපතිවරයා යටතට ගනු ලැබ ඇති බව ඔවුන් දන්නා නිසාය.

මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයකදී අතුරුදහන්වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා විදෙස් රටක සුවසේ සිටින්නේ යැයි ප්‍රකාශයට පත්කළේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහාය. ඒ ප්‍රකාශය පිළිබඳව හෝමාහෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රශ්න කෙරුණු විට ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඒ ගැන තමාට කී බුද්ධි අංශ නිලධාරියගේ නම අමතක බව කියා සිටියේද ආණ්ඩුව ආරක්ෂා කිරීමටය. ජූලම්පිටිය අමරේ, කටුවනදී වෙඩි තබා ඝාතන ද්විත්වයක් කළ විට එසේ කළේ අමරේ නොවන බව කියාපෑමට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් හුළුගල්ල මහතා ගත් වෙහෙස අපමණය. අවසානයේ අමරේම ස්වකැමැත්තෙන් තංගල්ල මහධිකරණයට භාරවූයේ ඒ පිළිබඳව හටගත් ලැජ්ජාව නිසා විය යුතුය. රාජ්‍ය නිලධාරි තන්ත්‍රයේ බොහොමයක් තමන්ගේ තනතුරුවල ගෞරවය පිළිබඳව නොසිතා ආණ්ඩුව ආරක්ෂා කිරීම පරම යුතුකමක් ලෙස සිතන්නේ ඔවුන්ගේ කුඩා ඔළුවලින් එය ආශ්චර්යය කරා ගමන ලෙස තේරුම් ගෙනය.

රාජ්‍ය යන්ත්‍රණයේ ඉහළ සිට පහළට සෑම තැනකින්ම දෙනු ලබන මේ සියලූ ආදර්ශයන් ආණ්ඩුවේ ඇමතිවරයා, ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා, පළාත් සභා මන්ත්‍රීවරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, මේ සියල්ලන්ගේ හිතවතුන් (නැතිනම් ඔවුන්ගේ අසල්වැසියන්) ඇද දමන්නේ, ආශ්චර්යයේ ගමන පිළිබඳ බරපතළ මංමුලාවකටය. ඉදින් පුරවැසියන්ට රට තුළ නීතියේ, සදාචාරයේ කඩාවැටීමක් ලෙස පෙනෙන්නේ, මෙම ආශ්චර්යයේ ගමනය. එම ගමන නිමා කිරීමෙන් තොරව රට තුළ නීතියේ පාලනය, යහපාලනය පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමම මෝඩකමකි.

Facebook
Twitter
LinkedIn