නමට මහ බැංකුවේ බාල වැඩ අතරින්…

ශ‍්‍රී ලංකා මහ බැංකුව යන නම ඇසූ විට අපේ රටේ බොහෝ දෙනෙකුගේ සිත්හි රැඳෙන්නේ සර්ව බලධාරීත්වය රැඳී තිබෙන තැනක් හැටියටයි. රටේ තිබෙන බැංකුවල අධිපති බැංකුව වශයෙන් එයට සුපිරි බලයක් හිමිව තිබෙන බව ඇත්තයි. අණපනතකින් හෝ රෙගුලාසි නීති රීතිවලින් කිසිම ආයතනයක පතිවත ආරක්ෂා වන්නේ නැත. මහ බැංකුවට සිදුව තිබෙන්නේද එයමයි. පිහිටුවීමේදී උදාර අරමුණු සහ රටේ ආර්ථීකය සම්බන්ධයෙන් බරපතල කාර්යභාරයක් මෙයට පවරා තිබිණ. දැන් ප‍්‍රශ්නය වන්නේ පසුගිය කාලය පුරා මෙහි පතිවත ආරක්ෂා කෙරී තිබේද යන්නයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් මහ බැංකුවේ පතිවත කෙලෙසී ඇති ආකාරය පිළිබඳ නිශ්චිත කරුණු කිහිපයක් හෙළිකර තිබේ.

කෝප් කමිටුව විසින් හෙළිකර තිබෙන වංචා දූෂණ යටතේ මෙම ලිපියෙන් සොයා බලන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුව පිළිබඳවයි. කෝප් කමිටුව විසින් මහ බැංකුව පිළිබඳව විමර්ශන සිදු කර ඇත්තේ පෙබරවාරි මස 25වැනි දිනය. විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ අගෝස්තු 09වන දිනයි. මෙම දින දෙක වැදගත් වන්නේ විමර්ශනය කරන ලද ආයතන සම්බන්ධයෙන් ලබා දී තිබෙන නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළ සැලකිය යුතු කාලයක්ද තිබූ බව තහවුරු වන බැවිණි. කෝප් කමිටුව විසින් නිශ්චිත කරුණු හතරක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 8,577ක වංචා දූෂණ සහ අක‍්‍රමිකතා හඳුනාගෙන ඇත. එයට අමතරව වත්මන් හවුල් ආණ්ඩුව යටතේ  කර තිබෙන බැඳුම්කර වංචාව පිළිබඳව මෙම වාර්තාවට ඇතුළත් කර නැත. ඒ ළඟදීම මේ සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් නිකුත් කිරීමට නියමිත බැවිණි. එම වාර්තාව එළිදක්වන තුරුම ‘ලංකා’ උකුසු ඇස් යොමු කර සිටියි. මන්ද බැඳුම්කර මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මුලින්ම රටට තොරතුරු හෙළි කළේ ‘ලංකා’ වන බැවිණි. තොරතුරු හෙළි කළ පමණින් මහජන මුදල් මංකොල්ලය නතර කර නැත. ඉදිරියේදී කටයුතු බොහෝ වේ.  එයට පුළුල් ඉඩකඩ තබමින් මේ අවස්ථාවේ පෙර කී මූල්‍ය අපරාධ පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු අනාවරණය කෙරේ.

කෝප් කමිටුවෙන් හෙළිකර තිබෙන පළමු කරුණ වන්නේ බංකොලොත් මූල්‍ය සමාගම් හයකට ශ‍්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් මිලියන 6,100ක ණය ලබා දී ආපසු අය කරගෙන නැති බවයි. මෙසේ ලබා දී තිබෙන මුදල 2011 මාර්තු මස 21 වෙනි දින මුදල් මණ්ඩලයෙන් ගන්නා ලද තීරණයක් අනුව කපාහැර ඇත. මෙම සමාගම පිළිබඳව 2011 මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ. “2011 වසර තුළදී ද්‍රවශීල අර්බුදයකට ලක් වූ එක් විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ද ඇතුළුව බැංකු නොවන මූල්‍ය ආයතන 07ක් යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙම සමාගම්වල කළමනාකරණය සඳහා කළමනාකරණ නියෝජිතවරුන් පත්කිරීම, තැන්පතු ප‍්‍රාග්ධනීකරණය කිරීම, (ආසන්න වශයෙන් රුපියල් බිලියන 06ක් පමණ) මගින් ශේෂ පත‍්‍ර ප‍්‍රතිව්‍යුහගත කිරීම හා දූරදර්ශී ක‍්‍රියාමාර්ගයක් ලෙස නව උපාය මාර්ගයක ආයෝජනයන් හඳුන්වාදීම (ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.3ක් පමණ) ගන්නා ලද ක‍්‍රියාමාර්ග අතර ප‍්‍රධාන තැනක් ගනී. අධ්‍යක්ෂක මණ්ඩල, ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයන්, කළමනාකරණ නියෝජිතවරුන් හා ආයෝජකයන් සමග නිරන්තර සාකච්ඡා පැවැත්වීම මගින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු මෙම අර්බදයට පත් සමාගම්වල කටයුතු සමීපව පරීක්ෂා කරන ලදී.”

යුද ජයග‍්‍රහණයෙන් පසුව රාජපක්ෂ පාලනය දෙවැනි ඉනිමේ පාලනයට මුල පිරූ සේ, රටේ මූල්‍ය පද්ධතිය රාජපක්ෂ පවුලට අත්පත් කර ගැනීමේ මූලික ඉලක්කය සහිතවයි.

කොළඹ කොටස් වෙළඳපොළ අතිවිශාල ජාවාරම් මධ්‍යස්ථානයක් බවට පත්කර ලෝකයේ වේගයෙන්ම වර්ධනයවන කොටස් වෙළඳපොළ වශයෙන් නම් කර ගත්තේය. මේ තුළ ඇස් අන්ධ කරගෙන සිටි බොහෝ දෙනාට නොපෙනී මූල්‍ය ආයතන වල වෙනමම ජාවාරම් කෙරිණි. දඬුවම් මුදලාලිගේ බිඳවැටීම, සක්විති බිඳවැටීම, සෙලින්කෝ සමාගම් සමූහයේ ආයතන රැසක් බිඳවැටීම ඇතුළු ක්ෂේත‍්‍ර රැසක මූල්‍ය අර්බුද මතු විය. බිඳවැටීම් සිදු විය. නමුත් ආසියාවේ ආශ්චර්යය මවාපෑම තුළ මෙම තත්ත්වයන් වසා දැමීය. කෝප් වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ මෙවැනි බංකොලොත් වූ මූල්‍ය සමාගම් හයක් වෙනුවෙන් මහ බැංකුව රුපියල් මිලියන 6,100ක් පොම්පකර තිබෙන බවයි. 2011 මහ බැංකු වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ බිඳවැටෙන මූල්‍ය සමාගම් ගොඩගන්නා අශ්චර්යමත් ආකාරය පිළිබඳවයි.

නමුත් අප සැලකිය යුතුවන්නේ මහ බැංකු වාර්තාවේ එම කටයුත්ත විසතරකර තිබෙන ආකාරය සහ කෝප් කමිටුවෙන් හෙළිකරගෙන තිබෙන කරුණු අතර තිබෙන පරස්පරය ගැනයි. මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ ද්‍රවශීල අර්බුදයට ලක්වූ මූල්‍ය සමාගම් හයක් සම්බන්ධයෙන් දූරදර්ශී ක‍්‍රියාමාර්ග අනුගමනය කළ බවයි. එසේ අර්බුදයට පත් වූ මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කලමනාකාරීත්වයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුව සමීපව පරීක්ෂා කරන ලද බව සඳහන්ය. මෙම සමීප ක‍්‍රියාවලියේ තරම කොතෙක්දැයි කෝප් වාර්තාවෙන් හෙළිකර ඇත.

එසේ හෙළිවන ප‍්‍රධාන කරුණු දෙකකි. පලමු වැන්න අදාළ සමාගම් හය ඈවර කිරීමෙන් ලබා ගත හැකි වී තිබූ රුපියල් මිලියන 317.1ක් වූ මුදල් හෝ මහ බැංකුවට ලබා ගැනීම වෙනුවට 2014 සැප්තැම්බර් අවස්වන විට ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 18.4 පමණක් බවයි. එයින් පැහැදිලි වන්නේ රුපියල් මිලියන 317.1ක් ලබා ගත හැකිව තිබියදී මහ බැංකුව ඒ වෙනුවෙන් මැදිහත් වී නැති බවයි. දූරදර්ශී ක‍්‍රියාමාර්ගවල තරම එසේයි. රුපියල් මිලියන 317ක් වෙනුවට මිලියන 18.4ක් වැනි මුදලක් ලබා ගැනීම මේ අනුව දූරදර්ශී ක‍්‍රියාමාර්ගයකි.

මෙහිදී මහ බැංකුව කොතරම් දූරදර්ශී ලෙස කටයුතු කර තිබෙන්නේදැයි කෝප් වාර්තාවෙන් හෙළිවන සටහනක් තිබේ. “හිග කපා හැරීමෙන් පසුවද රුපියල් මිලියන 18ක් නැවත ලැබීම තුළ එම කපා හැරීම් වටිනාකම්වල සහ එම තීරණවල ඇති අනාර්ථක බව පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. එමෙන්ම එම මූල්‍ය සමාගම් වලින් තවදුරටත් හිග ණය අය කර ගැනීමට හැකියාව පවතින බැවින් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගතයුතු බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.” යනුවෙන් සඳහන් වේ. මෙයින් කියවෙන්නේ කුමක්ද? ඉතාම වැදගත් දෙයනම් බංකොලොත් වූ මූල්‍ය සමාගම් විසින්ද මහ බැංකුවට රුපියල් මිලියන 18ක් ලබා දී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ කුමක්ද? මහ බැංකුව විසින් මහජනතාවගේ ධනය ජාවාරම්කාරී මූල්‍ය සමාගම් අතර බෙදා හැර එම ණය කපා දමා තිබූ බවයි. එසේ තිබියදීත් අදාළ මූල්‍ය සමාගම් විසින් රුපියල් මිලියන 18ක් ආපසු ගෙවා තිබූ බවයි. කෝප් කමිටුව හෙළි කර තිබෙන්නේ මහ බැංකුව ප‍්‍රමාණවත් මැදිහත්වීමක් කළේ නම් මූල්‍ය සමාගම්වලට ලබා දී තිබූ මුදල් අයකර ගැනීමේ හැකියාව තිබූ බව මෙම රුපියල් මිලියන 18 ආපසු ලබා දීමෙන් තහවුරු වී ඇති බවයි. නමුත් 2011 මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ අර්බුදයට පත් සියලු සමාගම් සඳහා උපාය මාර්ගික ආයෝජකයන් හඳුනාගෙන ඇති අතර, ඉන් සමාගම් හයක් සඳහා උපාය මාර්ගික ආයෝජන සම්පූර්ණ කර අධ්‍යක්ෂක මණ්ඩල සංයුතිය ප‍්‍රතිනිර්මාණය කර ඇත යනුවෙනි.

රාජපක්ෂ පාලනය ජනතා මුදල් සමග මෙම සූදු කෙළීම බාරදී තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් නම් තම ළඟම හිතවත් ගෝලයාටය. නාමල් රාජපක්ෂලා සමග රෝඩ් ෂෝවලදී කරට අත දමාගෙන නටන තරම් සමීප අල්ලේ නැටවිය හැකි කබ්රාල්ට මෙය බාර දී තිබිණ. මේ ජනතා ද්‍රෝහීන් අනිත් පැත්තට කටයුතු කරන්නේ කෙසේද? රුපියල් මිලියන 6,100ක් නොව රුපියල් 6100ක බැංකු ණය ශේෂයෙන් සෙවීමට නොහැකි වූ අහිංසක ගොවියෙක් හෝ ධීවරයෙක් හෝ දුප්පත් මිනිහෙක් කුදලාගෙන ගොස් හිරෙහි දැමීමෙන්ය.

කෝප් කමිටුව හෙළිකරගෙන තිබෙන තවත් ඉතාම වැදගත් තොරතුරක් වන්නේ මහ බැංකුව නිව්යෝර්ක් නුවර සහ බ‍්‍රස්ල්ස් නුවර ගොඩනැගිලි මිලදී ගෙන කුළියට දී ඇති බවයි.

මෙවැනි වෙළඳ සහ වාණිජ කටයුතු ශ‍්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමේ පනතටසේම මදල් නීති රීති අනුවද නීති විරෝධී බව කෝප් කමිටුව පෙන්වා දෙයි. මුදල් නීති පනතේ 117වන වගන්තියට විරුද්ධව මෙම කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව නිව්යෝර්ක් නුවර ගොඩනැගිල්ල මිලදී ගෙන ඇත්තේ ඩොලර් හැට දෙලක්ෂ හත්දහස් එකසිය දහයකටය. 2013දී මෙම මිලදී ගැනීම සිදුකරන විට ඩොලරයක රුපියල් ගණන 129.11වී තිබිණි. ඒ අනුව ගණනය කිරීමේදී මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන ඇත්තේ රුපියල් අසූකෝටි හත් ලක්ෂ දහඅට දහසකටය. (රු. 800,718,000) පමණ මිලකටය. මෙසේ මිලදී ගත් ගොඩනැගිල්ල කුළියට දී ඇත්තේ ඩොලර් 68,000කටයි. එනම් රුපියල් අසූ හත් ලක්ෂ හැත්තෑ දෙදහසකට (රු. 8,772,000) පමණය. මහ බැංකු අධිපතිවසිටි අජිත් නිවාඩි කබ්රාල් මෙහි තියෙන නීති විරෝධීභාවය දැනගෙන නොසිටියේද? වරලත් ගණකාධිකාරීවරයෙකු බව කියන කබ්රාල් මෙහි තියෙන නීති විරෝධීභාවය ඉතාම මැනවින් දැන දැනත්, මෙය කුළියට දී ඇත. එමෙන්ම බ‍්‍රසීලයේ ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 122.81කි. එනම් රුපියල් දොලොස්කෝටි විසිඅට ලක්ෂ දහදහසක් පමණ මුදලකි. මෙම නීති විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් මහ බැංකුවට නිර්දේශ කර ඇත්තේ මිලදී ගැනීම සහ කුළියට දීම සඳහා වගකිව යුතු මුදල් මණ්ඩලයේ නිලධාරීන්ගේ නාම ලේඛනය කමිටුවට ලබා දීම, මිලදී ගැනීමට හේතු වූ පදනම, මිලදී ගැනීමත් කුළියට දීමත් අතර කාලය තුළ බාවිතා කළේ කවුරුන්ද යන්නත් ආදී කරුණු ලබා දෙන ලෙසිනි. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කෝප් කමිටුව ලබා දී තිබෙන පිලිතුර වන්නේ එම ගනුදෙනුව සඳහා එවකට සිටි නීතිපතිගේ උපදෙස් අනුව මුදල් මණ්ඩලය ක‍්‍රියාකර ඇති බව දැන්වීමයි. අමතරව දේපළ මිලට ගැනීමේ පදනම හෝ කුළියට ගැනීමෙන් පසුව භාවිතා කළ අය පිළිබඳ විස්තරත් මැයි මස 13වන දින දක්වා ලබා දී නැත. කෝප් කමිටුව නිර්මාණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවල නියෝජිතයන්ගෙන් වුවද එහි වගකීම්වලට මහ බැංකුව කොකා පෙන්වන්නේ මෙසේයි.

විදේශ උපදේශකයන්ගේ උපදෙස් ලබා ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනයක් රටතුළ ඇති වී තිබිණි. මේ උපදේශකයන් ශ‍්‍රී ලංකාවේ ආයෝජනවලට සුදුසු පරිසරයක් තිබෙන බව ලෝකයවටා ප‍්‍රචාරය කිරීම නියමිත විය. එහෙත් විශේෂයෙන් කර තිබුණේ මහින්ද රාජපක්ෂගේ ගුණ වර්ණනා කිරීම හා ලෝකය ඉදිරියේ දැන්වීම් පළකර මහින්දගේ ප‍්‍රතිරූපයක් පිරියම් කිරීමයි. මේ වෙනුවෙන් විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ උපදේශක සමාගම් තුනක් සඳහා රුපියල් එකසිය තිස් නව කෝටි හැට දෙලක්ෂ විසිදෙදහස් හත්සිය දහයක් (රු. 1,396,222,710) ගෙවා තිබිණි. මහා භාණ්ඩාගාරයේ ඇපවීම මත මහ බැංකුවට අදාළ මුදල් විදේශ සමාගම්වලට ගෙවා තිබිණි. නමුත් පසුව මහාභාණ්ඩාගාරයෙත් අදාළ මුදල ලබා ගැනීමෙන් තොරව මහ බැංකුවේ වියදමක් සේ සලකා එම මුදල දරා තිබිණි. මහ බැංකුව ලබාගෙන තිබෙන උපදේශන සේවා සහ විගණන නීති ගාස්තු ඇතුළු අනිකුත් වෘත්තීය සේවා සැපයීම වෙනුවෙන් ගෙවා තිබෙන මුලූ මුදලින් සියයට හැට අටකට ආසන්න මුදලක් මෙම සමාගම් තුන වෙනුවෙන් පමණක් ගෙවා තිබෙන බව කෝප් කමිටුව හෙළි කර ඇත. මෙම ගනුදෙනුවලට අදාළ සියළු ලේඛන සහිත සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව මහ බැංකුවට දන්වා ඇත. මෙයට මහ බැංකුවෙන් ලබා දී තිබෙන ප‍්‍රතිචාරය ගැන සඳහන් වන්නේ “ජනාධිපති කාර්යාලය තුළ ලිඛිත තහවුරුවකින් අනතුරුව එකී විදේශ සේවා සපයන්නන්හට ගෙවීම් කිරීම පමණක් මහ බැංකුව විසින් කළ බව” යනුවෙනි. ඒ අනුව මහ බැංකුව තවත් වරදක් කර තිබේ. එය නම් ජනාධිපතිගේ ජංගම ගිණුමක් වශයෙන් කටයුතු කිරීමයි. කිසිවෙකු ගෙවීම් කරන ලෙස කරන නියෝග අනුව, මහ බැංකුව ගෙවීමට බැඳී නැත. එහෙත් කටයුතු කර තිබෙන්නේ එසේයි. විශේෂ හෙළිදරව් කර ගැනීම නම් රාජපක්ෂලාට පක්කලිකම් කළ නිලධාරීන් සුළු පිරිසකගේ උපයන විට ගෙවීම් බදු මුදල්ද මහ බැංකුව විසින්ම ගෙවා දමා තිබීමයි. මෙසේ ගෙවා තිබෙන මුදල රුපියල් මිලියන 159.4කි. මෙම ගෙවීම පිළිබඳව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීන්දුව පිළිබඳ විස්තර කෝප් සභාවට දන්වන ලෙස නියෝග කර තිබිණි. එයට පිළිතුර වී ඇත්තේ මහ බැංකුව විසින් එම මුදල් ගෙවීම නිවැරදි බව දැන්වීමයි. 

මෙලෙස මහජනධනය රුපියල් මිලියන 8577ක් මහ බැංකුවෙන් කොල්ලකන ලද අජිත් නිවාඩ් කබ්රාල්ට හෝ වගකිව යුතු අනිකුත් කෙරුම්මෙකුට අසූ මහා දෝශයක්වත් නැත. මහා බල සම්පන්න සේ පෙනී සිටින මහ බැංකුව කෙළෙසා හප කර තිබෙන්නේ මෙසේයි.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn