හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නිදහස සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂය විසින් අද (21) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී එමපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අදහස් දැකිවීය.
ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතියද සහිතව පූර්ණ නිදහසක් ලැබිය යුතු බවත් එහිදී එම මන්ත්‍රී වරුන් අවධාරණය කර සිටි අතර එහිදී දැක්වූ තවත් අදහස් පහත ඵලවේ.
“ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට සිදුවූයේ භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජක උතුමන්, දේශපාලන පක්ෂ සහ වෙනත් සිවිල් සංවිධාන මහජනතාව ඇතුලූ සියලූ දෙනා ගෙනගිය පොදු අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්. පසුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් එක්ක රාජපක්ෂ පාලනය ප්රජාතන්ත්රවිරෝධී සහ ඒකාධිපති මර්දනකාරී ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරනු ලැබුණා. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී අනුග්‍රහය දැක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විශ්‍රාමලත් හමුදාවේ නිලධාරීන්, සිවිල් මහජනතාව වෙත මෙම මර්දනය මුදාහරිනු ලැබුවා. අභූත චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදීන් 04 දෙනෙක් අයි.ටී.එන් හා ලක්හඬ මාධ්‍ය ආයතනවල විශාල පිරිසක් රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවා. මේ තත්වය යටතේ සමහර මාධ්‍යවේදීන් රට හැරදා ගියා. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සිදුකරන්නේ මේ වගේ පසුබිමකදි දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයෙකු හැටියටයි.
මෙම නිදහස් කිරීමෙන් රාජපක්ෂ පාලනයේ ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපති ගමන කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජාතික හා ජාත්‍යන්තර මැදිහත්වීම්, මහජන අරගල සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්. රාජපක්ෂ පාලනයට හතරවටින් එල්ලවී තිබෙන විරෝධතා වෙනත් දිශානතියකට එල්ල කිරීමේ අරමුණක් ආණ්ඩුවට තිබෙන බව පැහැදිලියි. ආණ්ඩුව මේ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරණ ස්ථාවරය පූර්ණ නිදහසක් ලබාදිය යුතු බවයි. කොන්දේසි කිසිවක් තිබිය නොහැකියි. ෆොන්සේකා මහතාට සිරදඩුවම් පමුණුවන්නේ ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද ඊනියා යුධ හමුදා අධිකරණයක් මගින්. හැබැයි මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බවයි.
සමහර වාර්තා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම මත ෆොන්සේකා මහතා නිදහස් කරන බවයි. අප දන්නා තරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිවෙකුට ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන් හිතුමතේ වැඩ කරන කෙනෙක්. ඒ තත්වය යටතේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තරම් බලගතු වූ ඇමතිවරුන් කවුද යන්න රටට ඉදිරිපත් කළ යුතු බව අපගේ මතයයි. ජනාධිපතිවරයා සම්බන්ධ වූ ඊනියා යුධ අධිකරණයට එරෙහිව නීතියට පවා යා නොහැකි තත්වයක් තිබුණා. ඇමතිවරුන්ගේ ඉල්ලීම මත නිදහස් කිරීම යනුවෙන් අදහස් කරන්නේ මේ වගේ ඒකාධිපති කි‍්‍රයාමාර්ගවලට එරෙහිව සමාජයේ සියලූම කොටස් සහ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මැදිහත් වූ නීතිඥයින් ඇතුලූ සියලූදෙනාගේ ඒකාබද්ධ ජයග්‍රහණයයි. එසේ නොවී ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ෆොන්සේකා මහතා නිදහස් කරනවානම් ඔහුට විරුද්ධව පවරා තිබෙන ඉතිරි නඩු සියල්ලත් ඉල්ලා අස්කර ගත යුතුයි. චන්දන කත්‍රිආරච්චි, අබ්දුල් කාදර් වැනි අයට පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගන්න පුළුවන්නම් හුදෙක් දේශපාලන පලිගැනීම් චේතනාවෙන්ම ෆොන්සේකා මහතාට විරුද්ධව පනවා ඇති නඩු සියල්ල ඉල්ලා අස්කර ගත යුතුයි.
ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, මාධ්‍ය ආයතනවලට පහරදීම ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම, සුදුවෑන්වලින් පැහැරගෙන යෑම වගේ සමස්ත කි‍්‍රයාදාමයක් රට තුළ කි‍්‍රයාත්මක වනවා. ඒ වගේම 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම බල රහිත කරමින් 18 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා ලබාගෙන තිබෙන ඒකාධිපති බලතල එසේම තිබියදී මේ රටේ ප්රජාතන්ත්රවාදය කිසිසේත්ම තහවුරු කළ නොහැකියි. ෆොන්සේකා මහතා නිදහස් කිරීම ප්රජාතන්ත්රවාදය දිනාගැනීමේ අරගලයේ එක ජයග්‍රහණයක් පමණයි. නමුත් ප්රජාතන්ත්රවාදය නියමාකාරයෙන් ජයග්‍රහණය කිරීමට තව බොහෝ කි‍්‍රයාකාරකම් කළ යුතුව තිබෙනවා. උතුරේ රැදවුම් කඳවුරුවල සිටින සහ වෙනත් ස්ථානවල රඳවා සිටින සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කර අර්ධ මිලිටරිකරණය අවසන් කළ යුතුයි. ජනමාධ්‍ය නිදහස තහවුරු කර මූලික මිනිස් අයිතිවාසිකම් ලබාදිය යුතුයි. මෙම අයිතීන් දිනාගැනීමේ අරගලය ඉදිරියට පවතින බව අප මේ අවස්ථාවේදී අවධාරණය කරනවා.”
මාධ්‍යවේදීන් නුගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්,
“ජනතා විමුක්ති පෙරමුණට අනන්‍ය වූ දේශපාලන කි‍්‍රයාමාර්ග තිබෙනවා. කඩාවැටෙමින් තිබෙන ධනවාදය වෙනුවට සමාජ සාධාරණත්වය සුරක්ෂිත කරන ආර්ථික දේශපාලන ක්‍රමයක් දිනාගැනීම වෙනුවෙන් වූ ගමනක අප යෙදී සිටිනවා. ඒ දිගුකාලීන අරමුණට කි‍්‍රයාකිරීම අප පක්ෂයේ මූලික න්‍යාය පත්‍රයේ කොටසක්. ඒ වගේම සරත් ෆොන්සේකා මහතාටත් ඔහුට අනන්‍ය වූ දේශාපලන ගමන් මගක් තිබෙන බව අප දන්නවා. ඒ ගමන් මග ගැන ඉදිරියේදී එතුමන් තීරණය කරාවි. ඒ සම්බන්ධයෙන් අප අතරේ පවතින සුහදතාවය සහ අවබෝධයට බාධාවක් වන්නේ නැහැ.
දෙසැම්බර් මාසයේ සිට විවිධ අවස්ථාවල සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සාකච්ඡා ජනාධිපතිවරයා සමග පැවැති බව විවිධ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. ඒ කිසිදු සාකච්ඡාවකට සෘජුව හෝ වක්‍රව ජනතා විමුක්ති පෙරමුණ දායක වුණේ නැහැ.
මේ ලැබෙන නිදහස මොකක්ද යන්න අපි හරියටම තාමත් දන්නේ නැහැ. යුධ අධිකරණ දඩුවම නිසා සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී දූරය අහෝසි වුණා. ඒ පුරප්පාඩුවට ඊළග මනාප ලබාගෙන සිටියේ අප පක්ෂයේ ලක්ෂ්මන් නිපුණආරච්චි සහෝදරයා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එතුමාට අයත් මන්ත්‍රී දූරය කිසිසේත් ලබානොගන්නා ස්ථාවරයක සිටියා. ඉන් අනතුරුව ජයන්ත කැටගොඩ මහතා ඊළඟ වැඩිම මනාප ලබාගෙන සිටි පුද්ගලයා වශයෙන් මන්ත්‍රී ධුරය භාරගත්තා. නමුත් එතුමා මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා. මන්ත්‍රී දූරයෙන් ඉල්ලා අස්වී ෆොන්සේකා මහතාට අවස්ථාව ලබාදීමට සූදානම් බව.
ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පැහැදිලි ස්ථාවරයක සිටිනවා. ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රටපුරා දැඩි බලපෑමක් තිබුණ අවස්ථාවක. ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන වෙනත් දේශපාලන පක්ෂ වගේම බොහෝ පිරිස් අතරට සරත් ෆොන්සේකා මහතාගේ අපේක්ෂාවත් එක් වී තිබුණා. මේ තත්වය යටතේ පොදු අපේක්ෂකයා වශයෙන් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ හැකි වුණා. විවිධ මාධ්‍ය මේ වනවිට කෙටි උපුටා දැක්වීම් කරනවා. විවිධ සංස්කරණවලට යටත් ප්රවෘත්ති පළකරමින් තිබෙනවා. ඒ විවිධ ප්‍රචාර ගැන අපි එතරම් ගණන් ගත යුතු නැහැ.” යනුවෙන් පැවසීය.
මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විජිත හේරත් මන්ත්‍රීවරයා.

“සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපතිවරණයෙන් පසු එල්ල වී තිබුණේ මර්දනය නිසාම හෝටලයක නතර වීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී හමුදා අනුකණ්ඩයක් යවා එය වටකර කි‍්‍රයාත්මක කළ හමුදා මෙහෙයුමකින් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගියා. ඒ වනවිටත් අපේ පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාත් කොළඹ දිස්ති‍්‍රක් පා.ම. සුනිල් හදුන්නෙත්ති සහෝදරයාත් එතුමා සමග සාකච්ඡා කරමින් සිටියා. ඒ කි‍්‍රයාදාමය සිදුවන විට ටී.එන්.එල්. රූපවාහිනියේ ජනහඩ සංවාදවයට එක්ව සිටියේ මමයි. සරත් ෆොන්සේකා මහතාගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඒ වෙලාවේ මම රටට කීවා. ජනතාව මේ දේශපාලන පළිගැනීමට එරෙහිව දිගින් දිගටම අරගල කිරීම සහ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඇතිවයි. ඒ එක් අවස්ථාවකදී අපේ නයිදුවාවඩු සහෝදරයාට අමානුෂික ලෙස පොලූවලින් පහරදී ඝාතනය කළා. ඒ වගේම මම ඇතුලූ තවත් අපේ පක්ෂයේ 13 දෙනෙක් සිරගත කළා. දැන් මමත් ඉන්නේ ඇප මත. ජනරාල් ෆොන්සේකා මහතාත් ඉන්නේ ඇප මත. අපේ සහෝදරවරු 13 දෙනා ඉන්නෙත් ඇප මත.” යනුවෙන් පැවසීය.









