ටෙලි නළුවාගේ කල්ලිය අත්අඩංගුවට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ සිරකරගෙන ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 69 ක්‌ වටිනා මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක්‌ කප්පම් ලෙස ලබාගත් චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක පොලිස්‌ නිලධාරියාගේ චරිතය රඟපෑ නළුවකු විසින් මෙහෙයවූ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (7 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගෙන් තවත් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ කප්පම් ලෙස ලබාගැනීමට උත්සාහ කරද්දී පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩදීය. මෙම සැකකරු වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කලක්‌ යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කර ඉන් පලා ආ පුද්ගලයෙකි. මෙම ව්‍යාපාරිකයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක්‌ පවත්වාගෙන යන අයෙකි. බළන්ගොඩ ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ ව්‍යාපාරිකයාගේ ඒජන්සිය මාර්ගයෙන් ඉතාලියේ රැකියාවලට යැමට සැලසුම් කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය.

පසුව මෙම සැලසුම වැරැදී ගිය අතර තරුණයන් පිරිස තමන් අත්තිකාරම් වශයෙන් ඒජන්සිය වෙත ලබාදුන් රුපියල් ලක්‍ෂ 16 ක මුදල ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇත.

ව්‍යාපාරිකයා එම මුදල ලබාදීම දිනෙන් දිනම ප්‍රමාද කර තිබේ. පසුව එම තරුණයන් වනාතමුල්ලේ පදිංචි ප්‍රධාන සැකකරු වෙත කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී අදාළ මුදල රැගෙන දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව ප්‍රධාන සැකකරු වනාතමුල්ලේ පදිංචි විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනකු සමග එක්‌වී ඒජන්සිකරු පැහැරගෙන යැමට සැලසුම් කර තිබේ.

ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා මෙම සංවිධානාත්මක කණ්‌ඩායම කිරිබත්ගොඩ නගරයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියට කඩාවැදී ඇත්තේ තමන් ත්‍රස්‌තවාදී විමර්ශන අංශයේ නිලධාරීන් යෑයි කියමින්ය.

පසුව ව්‍යාපාරිකයා බලහත්කාරයෙන් රැගෙන ඔහුගේ දැස්‌ බැඳ රුපියල් ලක්‍ෂ 45 ක්‌ වටිනා මෝටර් රථයද සමග පැහැරගෙන ගොස්‌ තිබිණි.

ව්‍යාපාරිකයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිරකර තැබූ සංවිධානාත්මක කල්ලිය ඔහු මුදාහැරීමට නම් බළන්ගොඩ තරුණයන්ගෙන් ලබාගත් මුදල වහාම ලබාදෙන ලෙස තර්ජනය කර ඇත.

අදාළ මුදල ලබාදෙන පොරොන්දුව මත ව්‍යාපාරිකයා මුදාහැරීමට කටයුතු කළ මෙම කණ්‌ඩායම ඔහුට අයත් රුපියල් ලක්‍ෂ 45 ක්‌ වටිනා මෝටර් රථයද ලබාගෙන තිබේ. පසුව එම ව්‍යාපාරිකයා කප්පම් කල්ලියට රුපියල් 16 ලක්‍ෂයක මුදල් ලබාදී ඇත. ව්‍යාපාරිකයාට දිගින් දිගටම තර්ජනය කරමින් කප්පම් කල්ලිය තවත් රුපියල් පන්ලක්‍ෂයක මුදලක්‌ ලබාදෙන ලෙස බලකර ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට ඇතුළු නිලධාරීන් සති කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලදී මෙම කප්පම් කල්ලිය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අදාළ කප්පම් මුදල ලබාදෙන පොරොන්දුව මත කප්පම් කල්ලියේ ප්‍රධානියා කිරිබත්ගොඩ නගරයේ ස්‌ථානයකට ගෙන්වූ පොලිසිය පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.කප්පම් කල්ලියේ ප්‍රධානියා ඇතුළු තිදෙනකු මේ වන විට පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම කප්පම් කල්ලිය මෙහෙයවූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල පොලිස්‌ පරීක්‍ෂකවරුන්ගේ චරිත රඟපාන නළුවා මීට ඉහතදී සිදු කළ කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව අනාවරණය වී ඇත. මොහු සතුව තිබී ව්‍යාජ හමුදා හැඳුනුම්පතක්‌ සහ අත්බෝම්බයක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn